ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාර ගනී



පාස්කු ඉරිදා දිනයේ සිදුවුණු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් වගකීම අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත.

අයි.එස්. ත්‍රස්තවාදීන් මේ බව පවසා ඇත්තේ, ඔවුන්ගේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස සැලකෙන ‘අමාක්’ හරහාය.

ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස්, රොයිටර්ස් සහ ඒ.එෆ්.පී වැනි ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය සියල්ල ‘අමාක්’ වෙබ් අඩවිය උපුටා දක්වමින් ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බාර ගත් බව වාර්තා කළේය.

අයි.එස්. කල්ලිය ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ සිරියානු යුද්ධය ඇරැඹීමෙනි. ලොව රටවල් රැසක මුස්ලිම් වැසියෝ සිරියාවට ගොස් මෙම ත්‍රස්ත කල්ලිය සමඟ එක් වූහ.

මේ වනවිට සිරියාවේ සහ ඉරාකයේ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට හැකිවී ඇති බව පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මීට සති කීපයකට පෙර කියා සිටියේ, සිරියාවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඇමෙරිකන් හමුදා සමත් වුණු බවය.

සිරියාවට ගොස් අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ එක්වුණු විදෙස් තරුණ තරුණියන් බොහෝ දෙනකු ආපසු ඔවුන්ගේ මවු රටවලට පැමිණ සිටින බවත් එය එම රටවල ආරක්ෂාවට තර්ජනයක් බවත් ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ අවස්ථා කිහිපයකදී අනතුරු අඟවා තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS