ප්‍රමාද සුබ පැතුමක්



සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින්, අති විශිෂ්ඨ ජනවරමක් හිමිකරගෙන සිවුවැනි වරටත් රුසියාවේ ජනාධිපති ධුරයට පත්වුණු ව්ලැදිමීර් පුටින්ට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (21) සුබ පැතුවේය.

රුසියානු ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය 18 වැනිදාය. පුටින් ජයග්‍රහණය කළේ 19 වැනිදා ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය. පුටින්ගේ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් පළමුවෙන් ඔහුට සුබ පැතුවේ චීන ජනාධිපති ෂි ජින්පින්ය.

ඉන්පසු සෙසු ආසියානු රටවල නායකයෝ, මැදපෙරදිග රටවල් වන ඉරානයේ ජනාධිපති රොව්හානි, සිරියානු ජනාධිපති අසාද්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇතුළු නායකයෝ රැසක් පුටින්ට සුබ පැතුවේ 20 වැනිදාය.කෙසේ නමුත් ඇමෙරිකාව, බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල නායකයෝ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.

ඊට හේතුව බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර අර්බුදයක් පැවැතීමත්, ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් වන ප්‍රංශය ජර්මනිය ආදිය බ්‍රිතාන්‍යයට සහාය දැක්වීමත්ය. බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර අර්බුදයක් නිර්මාණය වූයේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ලැබ, බි්‍රතාන්‍යයේ වාසය කළ රුසියානු කේ.ජී.බී. ඔත්තු සේවා නිලධාරියකු සහ ඔහුගේ දියණියට වස දීමේ සිද්ධියයි. එය රුසියානුවන් විසින් කළේ යැයි චෝදනා කරමින්, බි්‍රතාන්‍යය එරට රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් නෙරපා දැමීමට ඉකුත් සතියේ කටයුතු කළේය. ඇමෙරිකා රජය මැදිහත් වී රුසියාවට නව සම්බාධක කිහිපයක් පැනැවීය.

ජනපති ධුරයට පත්වූ අවස්ථාවේ පටන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍ය වූයේ රුසියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටය. ට්‍රම්ප් ජයග්‍රහණය ලැබූ ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාවෙන් බලබෑමක් එල්ල වුණු බවට ඇමෙරිකානු ආරක්ෂක අංශ චෝදනා කරයි. ට්‍රම්ප් ජයග්‍රහණය කළේ එම ‘බලපෑමෙන්’ යැයි ද කියනු ලැබේ. මේ හේතුව නිසා, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේත් සෙනෙට් මණ්ඩලයේත් තීරණයට ගරු කරමින්, ට්‍රම්ප් පසුගිය වසරේ රුසියාවට සම්බාධක පැනැවීමක් ද කළේය.

දින දෙකක ප්‍රමාදයකින් පසු රුසියානු ජනාධිපති පුටින්ට සුබ පතමින්, ට්‍රම්ප් කියා සිටියේ ‘නුදුරු අනාගතයේ දිනෙක එකිනෙකා හමුවී, යුක්රේන අර්බුදය ගැනත් සිරියානු අර්බුදය ගැනත් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරනවා’ කියාය.
රුසියාව සහ ඇමෙරිකාව අතර හිත් අමනාපකම් නිර්මාණය වී ඇත්තේ සිරියානු අර්බුදය සහ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මත ගැටුමක් පැවැතීමය.

(රොයිටර්)


RECOMMEND POSTS