ප්‍රමාණවත් මුදල් නොලැබුණාට ට්‍රම්ප් දුකෙන්



ඇමෙරිකා සහ මෙක්සිකෝ දේශසීමාවේ තමන් ඉදිකිරීමට යෝජනා කළ ප්‍රාකාරය සම්බන්ධයෙන්, අනුමත වූ මුදල සම්බන්ධයෙන් තමන් සතුටට පත් නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ට්‍රම්ප් යෝජනා කර ඇති දේශසීමා ප්‍රාකාරය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක් වැයවනු ඇතැයි ට්‍රම්ප් පෙන්වා දී තිබුණි. දේශසීමාවේ ප්‍රාකාරයක් ඉදිරිකිරීමට නොහැකි නම්, යකඩ වැටක් හෝ ඉදිකළ යුතු බව ජනපති ට්‍රම්ප්ගේ අදහස වී ඇත.

ජනපති ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන්වරුන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවලින් පසු ප්‍රාකාරය සඳහා අනුමැතිය හිමිවූයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 1.4 ක මුදලක් පමණි.

තමන් යෝජනා කළ ප්‍රාකාරය සඳහා අවශ්‍ය මුදල නොලැබීම ගැන තමන් කනගාටුවන බව පවසමින්, ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේ ඇමෙරිකන් රජය අකර්මණ්‍යවීම වැළැක්වීමට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික්වරුන් සමත් වීම ගැන තමන්ට සතුටු විය හැකි බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS