පළමු ජන රැළිය අමතති



එලඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජෝ බයිඩන් සහ ඔහු විසින් උප ජනාධිපති ධුරය සඳහා නම් කළ කමලා හැරිස් එකට සහභාගී වන පළමු ජන රැලිය පැවැත්විණි.

ජන රැලිය පැවැත්වූයේ විල්මින්ටන්, ඩෙලවෙයාර්හිදීය. 77 හැවිරිදි බයිඩන් සිය දෙවැනියා සහ උප ජනාධිපති ධුරය සඳහා 55 හැවිරිදි කමලා හැරිස් නම් කළේ පසුගිය 11 වැනිදාය. කමලා හැරිස් යනු ඉන්දීය සහ ජමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකානුවෙකි. මැය කැලිෆෝනියා සෙනෙට් සභිකයෙකි.

කොරෝනා අවධානම පැවැතියත් ජන රැලියට බලාපොරොත්තු වූ අයුරින් ජනතාව එක් රොක් වූ බව සංවිධායකයෝ පෙන්වා දෙති. ජෝ බයිඩන් සහ කමලා හැරිස් දෙදෙනා රැලිය අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම විවේචනය කළේ යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඔඩුදුවා ඇත්තේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ රජයේ දුර්වල ක්‍රියාකලාපය නිසා යැයි කමලා හැරිස් චෝදනා කළාය.

‘ආරම්භයේ සිට ජනපති ට්‍රම්ප් වයිරසය අවතක්සේරු කළා. වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වැඩි කරන්න ඔහු උනන්දු වුණේ නැහැ. මුහුණු ආවරණ පලඳින්නැයි ඔහු ජනතාවට කීවේ ප්‍රමාද වෙලා. විශේෂඥ වෛද්‍ය උපදෙස්වලට කන් දුන්නේ නැහැ. මේ සියලු හේතු කාරණා නිසයි කොරෝනා ඉහළ ගියේ’ යැයි කමලා හැරිස් ජන රැලියට එක් වුණු පිරිසට පෙන්වා දුන්නාය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන අතර, ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස් ද දිගටම උප ජනපති ධුරය අපේක්ෂාවෙන් සිටී.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS