පර්ල් වරායේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවට අයත් හවායිහි පර්ල් වරායේ නැව් තටාංගනයේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් බරපතල තුවාල ලැබූහ.

ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නැව්, සබ්මැරීන ආදිය නැංගුරම් ලා ඇත්තේ මෙම පර්ල් වරායේය. දෙවැනි ලෝක යුද සමයේ දී ජපන් හමුදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ද මෙම වරායටය.

ඇමෙරිකාව ජපනයේ හිරෝෂීමා සහ නාගසාකී නගරවලට පරමාණු බෝම්බ හෙලීම කළේ පර්ල් වරායට කළ පහරදීමට ප්‍රති ප්‍රහාරයක් ලෙසය. වෙඩි තැබීම සිදුවූයේ සවස 2.30 ට පමණය. වෙඩි තැබීම සැලවීමත් සමඟ වරාය නාවික කඳවුරේ ආරක්ෂාව තර කෙරුණි. කිසිවකුටවත් කඳවුරෙන් පිටතට යෑමට හෝ ඇතුළුවීමට හෝ නොහැකි විය.

වෙඩි තැබීම කළේ නාවික ඇඳුමකින් සැරැසුණු අයකු බව පැවැසෙයි. නාවික හමුදා භටයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තැබීම කළ තැනැත්තා කොටු කරගත් අවස්ථාවේදී, ඔහු වෙඩි තබා ගනිමින් දිවිනසා ගත් බව පැවැසෙයි.

වෙඩි තැබීම කළ තැනැත්තා නාවික හමුදා නිලධාරියකු යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් ඇමෙරිකන් නාවික හමුදාව එය තහවුරු කර නැත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය අතර සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වේ. සිද්ධිය ගැන තවමත් පරීක්ෂණ පැවැත්වෙන බව හවායි බලධාරීන් පවසා ඇත.

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS