නොසැලකිල්ල ගැන පරීක්ෂණයක්



උතුරු ඉන්දියාවේ, අම්රිත්සාර් නගරයේ ආගමික සැණකෙලියකට සහභාගී වෙමින් සිටි 61 දෙනකු දුම්රියේ ගැටී මියයෑමේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන බව අම්රිත්සාර් නුවර අයත් පන්ජාබ් ප‍්‍රාන්ත රජය කියයි.

පිරිස දුම්රියේ ගැටුණේ දුම්රිය නලාව නාද කිරීමක් හෝ වේගය අඩු කිරීමකින් හෝ නොකර ධාවනය වූ නිසා බව සිද්ධිය දුටුවෝ පවසති. දුම්රියේ ගැටුණු තවත් 100 කට වැඩි පිරිසක් රෝහල්ගතව සිටින බව ද පැවැසෙයි. අනතුර සිදුවී ඇත්තේ දුම්රිය රියදුරාගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී.

පිරිස දුම්රියේ ගැටී ඇත්තේ දුෂේරා හින්දු ආගමික සැණකෙළියට සහභාගී වෙමින් සිටිද්දීය. ගිණිකෙළි සන්දර්ශන ද සමඟ ආගමික උලෙළ පවත්වා ඇත්තේ දුම්රිය මාර්ගයක් වැටී ඇති පිට්ටනියක් අසලය.

දුම්රිය නිලධාරීන්ට සිය විරෝධය පා අම්රිත්සාර් වැසියන් දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතාවල නියැලෙන බව වාර්තා වේ. මේ හේතුව නිසා දුම්රිය ගමන් කිහිපයක් අවලංගු කිරීමට ද සිදුවී ඇති බව පැවැසෙයි. කලහකාරී පිරිස් දුම්රියවලට පහර දෙන බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS