නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට විරෝධයක්



සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඔස්ට්‍රියා නවකතාකරු පීටර් හන්ඞ්ක් ට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වී ඇත.

1990 දශකයේ යුගොස්ලෝවියා යුද්ධයේ දී පීටර් හන්ඞ්ක්ගේ සහාය හිමිවූයේ සර්බිවරුන්ටය. සර්බියානුවන්ගේ සමූල ඝාතන ප්‍රශංසාවට ලක් කළ නවකතාකරුවකු ලෙසත් නාට්‍ය රචකයකු ලෙසත් බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වුණු චරිතයක් ලෙස පීටර් හන්ඞ්ක් සැලකෙයි. ඔහුට විරෝධයක් එල්ල වී ඇත්තේ ඒ අනුවය.

ස්වීඩන ඇකඩමිය සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය හිමිවන්නේ කාටදැයි ප්‍රකාශයට පත් කළේ  ඊයේ (10) සවසය. සාහිත්‍යය වෙනුවෙන් තමන්ට නොබෙල් ත්‍යාගයක් හිමිවනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත්, ස්වීඩන ඇකඩමිය තමන්ට නොබෙල් ත්‍යාගය පිරිනැමීමට ගත් එඩිතර තීරණය අගය කරන බවත් 76 හැවිරිදි පීටර් හන්ඞ්ක් පවසා තිබේ.

පසුගිය වසරේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයක් ප්‍රදානය නොවිණි. ඒ, ස්වීඩන ඇකඩමියට ලිංගික අපචාර චෝදනා එල්ල වී එම ඇකඩමියේ විශ්වාසනීයත්වය පළුදු වූ බැවිනි. එහෙයින්, 2018 සහ මෙම 2019 වසර වෙනුවෙන් මෙවර සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග දෙකක් ප්‍රදානය කෙරුණි.

 පීටර් හන්ඞ්ක් ට අමතරව සාහිත්‍යය වෙනුනෙන් නොබෙල් ත්‍යාගය ප්‍රදානය කෙරුණේ පෝලන්ත නවකතාකාරියක වන ඔල්ගා ටොකාචුක්ටය. ඔල්ගා ටොකාචුක් පසුගිය වසරේදී ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS