නොබෙල් සාම ත්‍යාගය පිරිනැමේ



මෙවර නොබෙල් සාම ත්‍යාගය ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය‘ නමැති සංවිධානයට පිරිනැමීමට තීරණය කළේ යැයි නොබෙල් කමිටුව නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී ප්‍රකාශයට පත් කළේය.

‘ඉන්ටර් නැෂනල් කැම්පේන් ටු ඇබොලිෂ් නියුක්ලියර් වෙපන්ස්’ හෙවත් ‘අයි කැන්’ යන කෙටි වදනින් ද නම් කර ඇති මෙම සංවිධානය, ඔස්ටේ්‍රලියාවේ මෙල්බෝන් නුවර කේන්ද්‍ර කොට ගනිමින් පිහිටුවා ඇත. ඒ, 2007 වසරේ සිටය. මෙම සංවිධානයේ මූලස්ථාන කාර්යාලය පිහිටුවා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.

න්‍යෂ්ටික අවිවලින් සිදුවන මහා ව්‍යසනය නිරන්තරයෙන් ලොවට පසක් කර දෙමින්, න්‍යෂ්ටික අවි තහනම් කිරීමටත්, න්‍යෂ්ටික අවිහරණයටත් මෙම ව්‍යාපාරය ගන්නා උත්සාහය ඇගැයීමකට ලක් කරමින් 2017 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් පවසා ඇත.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පදක්කම් සහ සහතික පත්‍රවලට අමතරව, මුදල් ත්‍යාගයක් ද පිරිනැමෙයි. ඒ අනුව ‘ඉන්ටර් නැෂනල් කැම්පේන් ටු ඇබොලිෂ් නියුක්ලියර් වෙපන්ස්’ හෙවත් ‘අයි කැන්’ සංවිධානයට හිමිවන ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 ඉක්මවයි.

නොබෙල් සාම ත්‍යාගය ලෝක සාමය වෙනුවෙන් කැපැවී කටයුතු කරන පුද්ගලයන්ට පමණක් නොව ජාත්‍යන්තර සංවිධානවලට ද හිමිවෙයි. පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ කොලොම්බියාවේ ජනාධිපති මැනුවෙල් සැන්ටෝස්ටය. ඒ, ෆාර්ක් ගරිල්ලන් සමඟ සාකච්ඡා කර ඔවුන් සාම මාවතකට ගැනීමට ජනපති සැන්ටෝන් සමත් වීම ඇගැයීමට ලක් කරමිණි.

 (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS