නොබෙල් තෑග්ග ආපසු ගන්නේ නෑ



මියන්මාර හමුදාව රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කළේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාව මුල්කොට ගනිමින්, මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කී ට ලබා දුන් නොබෙල් සාම ත්‍යාගය ආපසු නොගන්නා බව නොබෙල් කමිටුව පවසා ඇත.

මියන්මාර හමුදාව රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් අමු අමුවේ ඝාතනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වී ඇත. වාර්තාව හරහා චෝදනා එල්ල වී ඇත්තේ මියන්මාර හමුදා ප‍්‍රධානීන්ටය. හමුදා ප‍්‍රධානීන් එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කර තිබේ.

රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් මියන්මාරයේ සුළු ජාතිකයන් වන අතර ඔවුහු රකීන් නමැති පළාතේ ජීවත් වෙති. මියන්මාර බෞද්ධයන්ගෙන් එල්ල වන කෙණෙහිලිකම් හමුවේ, මොවුහු අසල්වැසි බංග්ලාදේශයට පලා ගොස් ඇත. ලක්ෂ 7 කට වැඩි පිරිසක් මේ වනවිට බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල රැුඳී සිටිති. රකීන් පළාත වෙනම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කර ගැනීමට රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සමඟ එක් වී සිටින ඉස්ලාමීය සන්නද්ධ කල්ලි උත්සාහ ගනී. මියන්මාර හමුදාව සටන් වදින්නේ මෙම ඉස්ලාමීය සන්නද්ධ කල්ලි සමඟ යැයි පැවැසෙයි.

සූ කීට නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ 1991 වසරේ දීය. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සහ මියක්මාරයේ හමුදා පාලනයට එරෙහිව නැගී සිටීම ඇගැයීමට ලක් කරමිණි. මියන්මාරයේ රොහින්ග්‍යා වැසියන්ට එරෙහිව අපරාධ සිදුවෙද්දී, සූ කී නිහඬව සිටියේ යැයි ඇයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් චෝදනා එල්ල වී ඇත. බටහිර රටවල් බොහොමයක් යෝජනා කර ඇත්තේ ඇයට දුන් නොබෙල් සාම ත්‍යාගය යළි ගැනීම කළ යුතුයි කියාය.

මියන්මාරයේ නිල නොවන නායිකාව ලෙස සූ කී කටයුතු කරයි. ඇය නිල නොවන නායිකාව වූයේ, මියන්මාර ව්‍යවස්ථාවට අනුව ඇයට ජනාධිපති ධුරයට පත් වීමට නොහැකි නිසාය. මියන්මාර ව්‍යවස්ථාව සකස් කළේ වසර ගණනාවක් පැවැති හමුදා ජුන්ටාවය. ව්‍යවස්ථාවට අනුව, විදේශකයකු සමඟ විවාහ වූ අයකුට ජනපති ධුරයට පත් විය නොහැකිය. සූ කීගේ සැමියා බි‍්‍රතාන්‍ය ජාතිකයකු විය.

(රොයිටර්)


RECOMMEND POSTS