නොත්‍රදාම් දෙව්මැදුර වසර 5 කින් හදනවා



ගින්නෙන් විනාශ වූ වසර 850 කට වඩා පැරැණි නොත්‍රදාම් දෙව්මැදුර යළි ඉදිකිරීමේ කටයුතු වසර පහක් ඇතුළත අවසන් වනු ඇති බවත්, දෙව්මැදුර වඩාත් අලංකාර අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගන්නා  බවත් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.

දෙව්මැදුර ගිනි ගනිද්දී, ප්‍රංශ ජනාධිපති මැක්රොන් එහි ගොස් ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට වෙහෙසෙන අයුරු නිරීක්ෂණය කළේය. එම අවස්ථාවේදී ජනපති මැක්රොන් කියා සිටියේ ප්‍රංශ වැසියන් සැවොම එකමුතුව නොත්‍රදාම් දෙව්මැදුර යළි ප්‍රති නිර්මාණය කිරීමට කටයුතු කරන බවය.

ප්‍රංශ ධානපතියන් බොහෝ දෙනකු සහ සුප්‍රකට ප්‍රංශ සමාගම් බොහොමයක් පවසා ඇත්තේ  තමන් දෙව්මැදුර යළි ඉදිකිරීමේ කටයුත්තේදී මූල්‍ය පරිත්‍යාග සිදු කරන බවය. එසේ ලැබී ඇතැයි පැවැසෙන මුදල ඇමෙරිකන් ඩොල්ර් මිලියන 902 කි.

ප්‍රංශයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ බර්නාඞ් ආමෝල් ය. ආමෝල් යූරෝ මිලියන 200 ක මුදලක් දෙව් මැදුර ඉදිකිරීම වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.

කෝටිපති ප්‍රංශ ව්‍යාපාරික ෆ්‍රන්සුවා හෙන්රි පිනෝල් ද පවසා ඇත්තේ තමන් දෙව්මැදුර යළි ඉදිකිරීම වෙනුවෙන් යූරෝ මිලියන 100 ක් ලබා දීමට කටයුතු කරන බවය. මොහු විවාහ වී සිටින්නේ, ඇමෙරිකන් සිනමා නිළි සල්මා හයෙක් සමඟය.

එම අවස්ථාවේදී වාස්තු විද්‍යාඥයන් ද ඇතුළු විශේෂඥයන් බොහෝ දෙනකු කියා සිටියේ නොත්‍රදාම් දෙව්මැදුර යළි ඉදිකිරීමට ශතවර්ෂ ගණනාවක් ගත වනු ඇතැයි කියාය. ජනපති මැක්රොන් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ දෙව්මැදුරේ කටයුතු වසර පහකින් අවසන් කිරීමට තමන් කටයුතු කරන බවය. 2024 ගිම්හාන ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත බවත්, ඒ වනවිට දෙව්මැදුරේ කටයුතු අවසන් කරන බවත් ජනපති මැක්රොන් වැඩිදුරටත් පවසා ඇත. ජනපතිවරයා මේ බව කියා සිටියේ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිණි.

ගිනි නිවන භටයන්ට ගින්න නිවා දැමීමට හැකිවූයේ ගින්න හටගෙන පැය 15 ක් ගත වෙද්දීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගින්න හටගන්නා අවස්ථාවේදී නොත්‍රදාම් දෙව්මැදුරේ නඩත්තු කටයුතු සිදුවෙමින් තිබුණි. එම කටයුතුවලට සම්බන්ධ සේවකයන් සියලුම දෙනාගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රංශ පොලිසිය කටයුතු කර ඇත. පොලිසිය සහ ගිනි නිවන හමුදාව ගින්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ.

මේ අතර නොත්‍රදාම් දෙව්මැදුරේ හටගත් ගින්න සහ එයින් සිදුවුණු හානිය සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට හිතවත් ඉස්ලාමීය අන්තවාදීන් සතුට පළ කර ඇති බව වාර්තා වේ.

ගින්නෙන් දැවෙන දෙව්මැදුරේ ඡායාරූප පළ කරමින් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් අන්තවාදීන් පවසා ඇත්තේ එය ප්‍රංශ වැසියන් සහ බටහිර වැසියන්ට දෙවියන් ලබා දුන් දඬුවමක් කියාය. දෙව්මැදුරේ ගින්න ත්‍රස්ත ප්‍රහාරයක් බව අයි.එස්. හිතවාදීන් පවසා නැත. කෙසේ නමුත් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවට තමන් සැක කරන බව පැරිස් පොලිසිය පවසා තිබේ.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS