නොත්‍රදාම් දෙව්මැදුර ගින්නෙන් වැනසෙයි



ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි, වසර 850 ක් පැරැණි, ලෝ සුපතල නොත්‍රදාම් දෙව්මැදුර ඊයේ (15) ගින්නකින් වැනැසී ගියේය.

අයිෆල් කුලුන, ලූව්ර කෞකාගාරය සේම, ඊටවත් වඩා පැරැණි ප්‍රංශ වැසියන්ගේ වාස්තු විද්‍යාවේ මහිමය ලොවට පෙන්වා දෙන ඓතිහාසික දෙව්මැදුරක් ලෙස නොත්‍රදාම් දෙව්මැදුර ලොව ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ශණයකි.

ප්‍රංශ බසින් ‘නොත්‍රදාම්’ යන්නෙහි අර්ථය ‘අපේ ආර්යාව’ යන්නය. 12 වැනි සහ 13 වැනි සියවසේදී ඉදිකළ නොත්‍රදාම් දෙව්මැදුර යුනෙස්කෝ ලෝක උරුමයකි.

ගින්න හටගත්තේ පෙරේදා ප්‍රංශයේ වේලාවෙන් 6.30 ට පමණය. දැවයෙන් නිර්මාණය කළ දෙව්මැදුරේ වහළය තෙක් ගින්න වේගයෙන් පැතිර යන්න වූ අතර ඒ සමඟම වර්ණ ගැන්වූ වීදුරු දැමූ ජනේල විනාශ විය.

ගිනි නිවන භටයන් වහා ගින්න නිවා දැමීමට පැමිණිය ද එය ඉතා වේගයෙන් පැතිර යන්න විය. ගින්න නිවා දැමීමට පමණක් නොව, දෙව්මැදුරේ සිතුවම්, මූර්ති නිර්මාණ ආදිය ගින්නෙන් බේරා ගැනීමට ද ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන භටයන් ගණන 500 ක් යැයි ද පැවැසෙයි. අද (16) උදෑසන වෙද්දී ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට හැකිවුණු අතර දෙව්මැදුරේ ප්‍රධාන ව්‍යුහය සහ ඝණ්ටාර කුලුනු දෙක ඉතිරි වී තිබුණි.

ප්‍රධාන ශාලාවේ ගෝලාකාර වහලය ගින්නෙන් හානි සිදුවී කඩා වැටුණි. ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේ දෙව්මැදුරට ගින්නෙන් දරුණු ලෙස හානි සිදුවී ඇති බවය.


ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ. ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් කියා සිටියේ, එය මහා ඛේදවාචකයක් බවය.

නොත්‍රදාම් දෙව්මැදුරට සිදුවුණු විපත සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව පවසමින්, ජනාධිපති මැක්රොන් වැඩි දුරටත් කියා සිටියේ, නොත්‍රදාම් දෙව්මැදුර යළි පැවැති අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. ජනාධිපති මැක්රොන් ද කඩිනමින් නොත්‍රදාම් දෙව්මැදුර වෙත පැමිණියේය. ගින්න නිවා දැමීමට දිවි පරදුවට තැබූ ගිනි නිවන භටයන්ට ස්තුති කිරීමට පවා ජනාධිපති මැක්රොන් කටයුතු කළේය.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS