නිව්යෝක් නුවර පිපිරීමක්



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන් ප්‍රදේශ බස් නැවැතුම්පොළක සිදුවුණු පිපිරීමකින් පස් දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය කියයි.

පුපුරා ගොස් ඇත්තේ පයිප්ප බෝම්බයක් බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබුණ ද ආරක්ෂක අංශ ඒ බව තහවුරු කර නැත. බෝම්බ පිපිරීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසනය. මැන්හැටන් බස් නැවැතුම්පොළ එම අවස්ථාවේ මගීන්ගෙන් පිරී තිබුණු බව ද පැවැසෙයි. පිපිරීමත් සමඟ මහා කලබලයක් ද හටගත්තේය.

නිව්යෝක් පොලිස් නිලධාරීන් සහ ස්වොට් භටයන් වහා ක්‍රියාත්මක වී බස් නැවැතුම්පොළට සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දුන් බව ද වාර්තා වේ.

නිව්යෝක්  නුවර සිදුවුණු එම පිපිරීම සම්බන්ධයෙන් නිව්යෝක් ආරක්ෂක අංශ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැනුම්වත් කර ඇති බවත්, ජනපතිවරයා ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක සේරා හකාබී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS