නිල වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට



ශ්‍රී ලංකාව පශ්චාත් යුද සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිත සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය.

ස්වාධීන සත්‍ය සහ සංහිඳියා (ප්‍රතිසන්ධාන) කොමිසමක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව ඊට පසුව ගත යුතු වැදගත්ම පියවර විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කීවාය.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙන් පසුව කවුන්සිලය අමතමින් ඇය එම කරුණු සඳහන් කළාය.

ඇය එහිදි මෙසේ ද සඳහන් කළාය.

“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනා සහ ඒවායේ නිර්දේශ සම්බන්ධයෙන් මගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියාගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීම අගය කළ යුතුයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදල හරහා අඛණ්ඩව ශ්‍රී ලංකාව තාක්ෂණික සහයෝගය ලබා දී තිබෙනවා.

හමුදාව අත්පත් කරගෙන තිබූ උතුරේ සහ නැගෙනහිර ඉඩම් නැවත ලබාදීමේදී යම් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් එම ඉතා වැදගත් ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් පියවර ගත යුතුයි.

ගෙන ඇති පියවරවලින් මීට වසර හතරකට පෙර පුළුල් ආයතනික සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකා ලබාදුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමේ ප්‍රගතිය පෙනී යනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ නිර්දේශ කිරීමේදී ශ්‍රී ලංකාව මීට වඩා වේගවත් විය යුතු අතර එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉටු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය තුළ ඒ සඳහා පොදු දැක්මක් නොමැතිකම ප්‍රමාදවීම්වලය හේතු වූ ප්‍රධාන සාධකයක් බව පෙනී යනවා. එහි ප්‍රතිඵලයක් ශ්‍රී ලංකාවේ සියලුම වාර්ගික කොටස් ආගමික කොටස් සමාජ කණ්ඩායම් යනාදී සියල්ලට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත.

ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීතිය කඩ කළ බවට චෝදනා එල්ල වී තිබෙන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ තනතුරකට පත් කිරීම ද කනගාටුදායක කරුණක්.

අතීතයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත නොවීම වගබලා ගැනීමටත්, මානව හිමිකම් ආරක්ෂා කරන මානව හිමිකම්වලට ගරු කරන වගවීම සහිත සුරක්ෂිත අනාගතයක් උදෙසා සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුයි”.

නෝර්වේ, කැනඩාව, බෙල්ජියම, ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මොන්ටෙනීග්‍රෝ, ඩෙන්මාර්කය යන රටවල සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද මෙහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

හර්ෂණ තුෂාර සිල්වා

 


RECOMMEND POSTS