නියෝජ්‍ය අගමැතිට වැඩ වරදී



ප‍්‍රමාණවත් පරිදි අස්වැන්න නොලැබුණැයි ගොවීන් පිරිසකට බැණ වඳිමින් පහර දී, දඬුවමක් ලෙස එම පිරිස ඇළ මාර්ගයක පැය කීපයක් සිටුවා තැබීමට අණ දුන් උස්බෙකිස්තානයේ නියෝජ්‍ය අගමැතිවරයාට සිය ධුරය අහිමි විය.

ගොවීන් සය දෙනකුට පහර දී ප‍්‍රසිද්ධියේ ඔවුන්ට දඬුවම් දුන්නේ නියෝජ්‍ය අගමැති සොයිර් මිර්සායේව්ය. නියෝජ්‍ය අගමැතිවරයාගේ අණ පරිදි ගොවීන්ට පහර දී ඇත්තේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් යැයි ද පැවැසෙයි.

පහර කෑමෙන් පසු ඇළට බැසගත් ගොවීන් බිම බලා ගෙන සිටගෙන සිටින සහ ඔවුන් විශාල ගල් ඔසවාගෙන සිටින අයුරු ඇතුළත් ඡුායාරූප මුලින්ම ප‍්‍රසිද්ධියට පත් වූයේ සමාජ ජාල ඔස්සේය.

එම ඡායාරූප දැක සිදුවූයේ කුමක්දැයි මාධ්‍ය විසින් සොයා බැලීමක් කර ඇත. එහිදී සිදුවුණේ කුමක්දැයි පැහැදිලි ලෙස අනාවරණය කර ගැනීමට මාධ්‍යවේදීන්ට හැකියාව ලැබුණු බව පැවැසෙයි.

මෙය සිදුවී ඇත්තේ ටෂ්කේන්ට් අගනුවරට නුදුරින් ඔකොරාග් දිස්ති‍්‍රක්කයේ ගම්මානයකිනි. අස්වැන්න ප‍්‍රමාණවත් නැතැයි දෝෂාරෝපණය කරමින්, ගොවීන් හය දෙනාට සහ සංවර්ධන නිලධාරීන්ට පවා නියෝජ්‍ය අගමැතිවරයා පහර දීමට අණ කර තිබේ.

නියෝජ්‍ය අගමැතිවරයාගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ඔහු වහා ධුරයෙන් ඉවත් කිරීමට තමන් තීරණය කළ බවත් උස්බෙකිස්තාන ජනාධිපති ෂව්කාත් මිර්සියෝයේව් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

උස්බෙකිස්තානය යනු මධ්‍යම ආසියානු රටකි. කලක් සෝවිවය් සමූහාණ්ඩුවේ කොටසක් ලෙස පැවැතිණි. අතීතයේ සේද මාවත වැටී තිබුණේ උස්බෙක්සිතානය ඔස්සේය. 2017 ලෝක බැංකු වාර්තා අනුව ජනගහනය මිලියන 32.39 කි. යුස්බෙක් සහ රුසියානු නිල භාෂා ලෙස සැලකෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS