නියෝජ්‍ය අගමැති කොළේ ඉරා ගනී



විනය විරෝධී ලෙස හැසුරුණැයි චෝදනා එල්ල වීමත් සමඟ තමන් ධුරයෙන් ඉවත්වීමට ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති බර්නබී ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.

නියෝජ්‍ය අගමැති බර්නබී ජොයිස් සිය මාධ්‍ය උපදේශිකා විකී චැම්පියන් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීම එම චෝදනාවලට හේතුවයි. මේ බව අනාවරණය වූයේ මීට සති කිහිපයකට පෙරය.

එම අනාවරණයත් සමඟ ජොයිස්ගේ පවුල් ජීවිතය ද අවුල් ජාලාවක් බවට පරිවර්තනය වී ඇතැයි ඕස්ට්‍රේලියා පුවත් සේවා පෙන්වා දී තිබුණි.

මෙම සිද්ධිය ගැන කනගාටුවත් කනස්සල්ලත් පළ කරමින්, ඕස්ට්‍රේලියා අගමැති මයිකල් ටර්න්බුල් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, සිය ඇමැතිවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ සමීප හිතවත්කම් තහනම් කරන බවය.

නියෝජ්‍ය අගමැති බර්නබී ජොයිස් සහ මාධ්‍ය උපදේශිකාව අතර ‘හුටපටය’ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඕස්ටේ්‍රලියා වැසියෝ ද ඔවුන්ගේ අප්‍රසාදය පළ කර තිබුණහ.

බර්නබී ජොයිස් යනු ඕස්ට්‍රේලියාවේ ජාතික පක්ෂයේ නායකයාය. නියෝජ්‍ය අගමැති ධුරයෙන් ජොයිස් සමුගන්නේ පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වෙමිනි. ඒ අනුව, ජොයිස්ගේ දේශපාලන ගමන අවසන් වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ඇත්තේ සන්ධාන ආණ්ඩුවකි. සන්ධානය පවතින්නේ ජාතික පක්ෂය සහ කම්කරු පක්ෂයේ එකමුතුවෙනි. අනියම් පෙම් සබඳතාව මුල්කොට ගනිමින්, ජොයිස්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි කම්කරු පක්ෂයෙන් විශාල බලපෑමක් එල්ල විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS