නායයෑමට 312 දෙනෙක් බිලිවෙති



අප්‍රිකාවට අයත් සියේරා ලියොන් රාජ්‍යයේ ගම්මානයක් නායයෑමට ලක් වුණු අතර, ගම්මානයේ සිටි 312 දෙනෙක් පණපිටින් වැළැලුණාහ.

නායයෑමට ලක් වූයේ ෂුගර් ලෝෆ් කන්දය. මෙම කන්ද පිහිටා ඇත්තේ රේගන්ට් නමැති පළාතේය. කන්ද පාමුල පිහිටි ගම්මානය මුළුමනින්ම පස්වලින් යටවී වැසී යද්දී, ගම්වැසියෝ නින්දේ පසුවූහ.

මහ වැසි නොතකා සහන සහන සේවා කටයුතු සිදුවුණු නමුත් කිසිවකුවත් බේරා ගැනීමට හැකියාවක් නොලැබිණි. විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණේ, නායයෑමෙන් පසු ගම්මානය තිබූ බවට සලකුණක් හෝ දකින්න නොලැබුණු බවය.

සියෙරා ලියොන් රාජ්‍යයට පසුගිය දින කිහිපය පුරා නොකඩවා මහ වැසි ඇද හැළෙන්න විය. ප්‍රදේශ රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර හදිසියේ හටගත් ජල ගැලීම්වලට බිලි වූ ගණන 30 ක් යැයි පැවැසෙයි. නිවාස සහ ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවී ඇති බවත්, ජල ගැලීම් හේතුවෙන් 500 පකට වැඩි පිරිසක් කොටු වී සිටින බවත් රතු කුරුස සංවිධානය පවසා ඇත.

මෝසම් වැසි ඇද හැළෙද්දී, සියෙරා ලියොන් රාජ්‍යයේ මීට පෙර ද දරුණු අන්දමින් ජල ගැලීම් වාර්තා වී ඇත. නායයෑමේ අවදානම් පවතින පළාත්වලින් ඈත් වී සිටින ලෙසත්, නිවාස ඉදිකිරීමෙන් වළකින ලෙසත් සියෙරා ලියෝන් රජය ජනතාවට දැනුම් දී ඇති නමුත් ජනතාව එම අනතුරු ඇඟවීම් ගණන් නොගන්නා බව පැවැසෙයි.

සියෙරා ලියොන් රාජ්‍යයේ අගනුවර ලෙස සැලකෙන්නේ ෆ්‍රීටවුන්  ය. ෆ්‍රීටවුන් අගනුවර වට කර කඳු වැටියක් පිහිටා ඇත. ෂුගර් ලෝෆ් යනු එම කඳු වැටියට අයත් එක් කන්දකි.

මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් අගනුවර ද යට වී ඇත. මිලියනයකට වැඩි පිරිසක් ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් වී ඇතැයි ද වාර්තා වේ. 2015 වසරේ දී, ෆ්‍රීටවුන් අගනුවර ජලයෙන් යටවි ගියේය. දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය. මියගිය ගණන 15 ක් යැයි වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS