නවදිල්ලියට වෛද්‍ය සැපැයුම් ලැබේ



අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් රැසක් මේ වනවිට නවදිල්ලියට ළඟා වීම ආරම්භ වී තිබේ.

ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් තිබෙන අතර ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 200,000ට ළඟා වෙමින් තිබේ.

ඉන්දියාවේ තත්ත්වය සැලකිල්ලට ලොව බලවත් රටවල් මේ වනවිට ඉන්දියාවට සහාය දීමට ඉදිරිපත් ව සිටින අතර බ්‍රිතාන්‍ය ඉන්දියාවට එවූ ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 100ක් සහ ඔක්සිජන් සැපයුමට අවශ්‍ය යන්ත්‍ර (ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස්) 95ක් අඟහරුවාදා ඉන්දියාවට ළඟා විය.

ඉන්දියාවේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

බ්‍රිතාන්‍යයට, ඉන්දියාවට එවීමට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා අතිරික්තයක් නැති බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට දන්වා ඇත.

ඔක්සිජන් ජනනය කරන විශාල බලාගාර වර්ගයේ විශාල යන්ත්‍ර 8ක් ඉන්දියාවට එවීමට ප්‍රංශය පියවර ගෙන ඇති අතර ඒවා මේ සතියේ දී ඉන්දියාවට ළඟා වීමට නියමිත ය.

ඉන්දියාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරටට ස්වසන සංවාතන සහ ඔක්සින සපයන යන්ත්‍ර එවීමට අයර්ලන්තය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව ද පියවර ගෙන ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ද දුරකතන ඇමතුමක් දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්දියාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා එවීමට පියවර ගන්නා බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදි පවසා ඇත.

කෙසේ නමුත් ඇමෙරිකාව ද තවමත් සිටින්නේ අර්බුදකාරී තත්ත්වය යැයි බයිඩන් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.  

ඔක්සිජන් ටොන් 70ක් රැගත් ඉන්දියාවේ පළමු “ඔක්සිජන් එක්ස්ප්‍රස්” (ඔක්සිජන් ටැංකි රැගත් දුම්රිය) එරට නැගෙනහිර ප්‍රාන්තයක සිට නවදිල්ලියට ළඟා විය. නවදිල්ලියේ තත්ත්වය ඉතා දරුණු වන අතර ‌මේ වනවිට නව කොරෝනා වයිරසයේ පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්තව ඇත්තේ ඉන්දියාව ය. ඉන්දියාව තුළ මේ වනවිට පැතිර යන රැල්ල මාරාන්තික එකක් යැයි ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. එස ඔක්සිජන් ප්‍රමාණය ලැබුණ ද මිලියන 20කට ආසන්න ජනතාවක් වෙසෙන නවදිල්ලියේ තත්ත්වයේ අඩුවක් නොවන බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

“දැන් ඇතිවෙලා තිබෙන රැල්ල ඉතාම දරුණු එකක්. එය වේගයෙන් පැතිර යනවා. රෝහල් වයිරස ආසාදිත රෝගීන්ගෙන් පිරි ගිහින්” යැයි දිල්ලියේ මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් පැවැසීය.

දිල්ලියේ විශාල මහජන ප්‍රදේශයක් දැඩි සත්කාර ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව ද හෙතෙම කීය.

රොයිටර්


RECOMMEND POSTS