නව ජනපති හමුවන්න ඇවිල්ලා



වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පෙරේදා (21) කියුබාවේ හවානා නුවරදී කියුබා නව ජනාධිපති මිගුවෙල් දියෑස් කැනැල් හමුවී සාකච්ඡා පැවැත්වීය.

ජනපති ධුරයට පත්වීමෙන් පසු මිගුවෙල් හමුවන පළමු රාජ්‍ය නායකයා වූයේ ද වෙනිසියුලා ජනාධිපතිවරයාය.

ජනාධිපති මදුරෝ, හවානා අගනුවරදී ජනාධිපති මිගුවෙල් හමුවූයේ ඔහුට උණුසුම් ලෙස සුබ පතමිනි. හවානා පැමිණි වෙනිසියුලා ජනාධිපතිවරයා හමුදා උත්තමාචාර මැද පිළිගැනීමට කියුබා ජනාධිපතිවරයා කටයුතු කළේය.

දෙරට අතර පවතින හිතවත්කම් තවත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. කියුබාවත්, වෙනිසියුලාවත් ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින ලතින් ඇමෙරිකා රටවල් දෙකකි.

කස්ත්‍රෝ පවුලෙන් පිට අයකු වන 57 හැවිරිදි මිගුවෙල් දියෑස් කැනැල් කියුබාවේ ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේය. ඒ, ජනපති ධුරයේ කටයුතු කළ ෆිදෙල් කස්ත්‍රෝගේ බාල සොයුරු රාවුල් කස්ත්‍රෝ එම ධුරයෙන් ඉවත් වීමත් සමඟය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS