නංගි වෙනුවෙන් අවසර ඉල්ලයි



උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් එකමුතු වී, එක් රටක් ලෙස සෙසු රටවල් සමඟ තරගවදින, ‘2018 සීත ඔලිම්පික් උලෙළ’ හෙට (9) දකුණු කොරියාවේ යොංග්චෙංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වීමට නියමිත අතර, උලෙළෙ සමාරම්භක අවස්ථාවට උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොංග් ට සහභාගී වීමට අවසර දෙන්නැයි දකුණු කොරියානු රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළේය.

දකුණු කොරියා රජය වෙනුවෙන්, එරට ක්‍රීඩා බලධාරීන් සහ ‘උතුර සහ දකුණ එක්සත් කිරීමේ අමත්‍යාංශය’ එක් වී, මෙම ඉල්ලීම කර ඇතැයි ද වාර්තා වේ. සීත ඔලිම්පික් උලෙළ සමාරම්භක උත්සවය අද පැවැත්වීමට නියමිත අතර, කිම් යෝ ජොංග් ඊට සහභාගී කර ගැනීමට දකුණු කොරියාව අපේක්ෂාවෙන් සිටී.

කිම් යෝ ජොංග් ට දකුණු කොරියාවට පැමිණීමට අවසර හිමිවුවහොත්, ඇය සමඟ උතුරු කොරියානු රජයේ ක්‍රීඩා කමිටුවේ ප්‍රධානී චෝව් හුවේයි ද සීත ඔලිම්පික් උලෙළ සමාරම්භක උත්සවයට සහභාගී වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කිම් ජොන් නාම්ට සම්බාධක පනවා ඇත. එම සම්බාධක අනුව, ඇයට විදේශ සංචාර කළ නොහැකිය. ඇයට අසල්වැසි දකුණු කොරියාවට පැමිණීමට පවා අවසර නැත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස කටයුතු කරන්නේ බාල නැගණිය කිම් යෝ ජොංග් ය. ඇයට වැඩි බලතල පවරා දීම පසුගිය වසරේ කිම් ජොන් උන් විසින් පවරනු ලැබුණි.

කිම් යෝ ජොංග් ට එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බාධක පනවා ඇත්තේ ඇය මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් රැසකට චෝදනා ලැබ සිටින නිසාය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව මෙවර සීත ඔලිම්පික් උලෙළෙදී එකමුතුව, එක ධජයක් යටතේ ක්‍රීඩා තරගවලට සහභාගීවීම සුවිශේෂී සිදුවීමක් වනු ඇත. උතුරු සහ දකුණු කොරියාව අතර නිර්මාණය වුණු මෙම ‘සුහඳත්වය’ දිගටම පවත්වාගෙන යෑම කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS