ධුරයෙන් ඉවත්වීමට තෙරේසා මේ තීරණය කරයි



බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ අර්බුදය මුල්කොට ගනිමින්, තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නිවේදනය කළාය.

”බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සාර්ථක කර ගන්න මම උපරිමයෙන් උත්සාහ කළා. ඒත් ඒක මට බැරිවුණා. මම අගමැති ධුරය බාර ගත්තේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කරන්නයි. ඒක මට කරන්න බැරිවීම ගැන කනගාටුයි” ලන්ඩන් අගනුවර ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවස ඉදිරියේ හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් තෙරේසා මේ කියා සිටියේ ඉතා හැඟීම්බරවය.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළේ 2016 පැවැති ජනමත විමසුමේදීය. එවකට අගමැති ධුරයේ සිටියේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි කී ඬේවිඞ් කැමරන්ය. ජනමත විමසුමේදී බහුතරයකගේ මතය වූයේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවය.
ඒ අනුව, කොන්සවර්ටිව් පාක්ෂික ඬේවිඞ් කැමරන් අගමැති ධුරයෙන් ඉවත් විය. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට යුරෝපා සංගමයෙන් වසර 3 ක කාලයක් ලැබුණු අතර, එම කටයුත්ත සම්පූර්ණ කිරීමට සුදුස්සකු ලෙස කොන්සවර්ටිව් පක්ෂය තෙරේසා මේ අගමැති ධුරයට පත් කර ගත්තේය.

2017 දී බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වූයේ අගමැතිනී තෙරේසා මේට ජනතා මනාපය ඇති බව සෙවීමේ අරමුණින්ය. එහිදී ඇයට පැහැදිලි ජනවරමක් හිමිවිය.

අගමැතිනී මේ යුරෝපා සංගමය සමඟ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියක් සකස් කර ගත්තේය. ඊට ඇගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් පමණක් නොව, ප‍්‍රතිවාදී කම්කරු පක්ෂයෙන් ද දැඩි විරෝධයක් එල්ල විය. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඊට අදාල යෝජනාව අනුමත කළ යුතුය.
තෙරේසා මේ ඉදිරිපත් කළ සියලූ බ්‍රෙක්සිට් යෝජනා අසාර්ථක වූ අතර, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය දිනෙන් දින දීර්ඝ කර ගැනීමට අගමැතිනිය සමත් විය. කෙසේ නමුත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට අගමැතිනිය අපොහොසත් විය.

තෙරේසා මේ ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුවය.

නව අගමැතිවරයකු පත් කර ගැනීම ඉදිරි දින කිහිපයේදී සිදු කරන බව කොන්සවර්ටිව් පක්ෂය පවසා ඇත. තෙරේසා මේ ධුරයෙන් ඉවත් වීම ලබන ජූනි 7 වැනිදා සිදුවනු ඇති බව ද පැවැසෙයි. බ්‍රෙක්සිට් යෝජනාව සම්මත කර ගත්තොත් තමන් එම අවස්ථාවේදීම ධුරයෙන් ඉවත් වන බව ද තෙරේසා මේ මීට පෙර පවසා තිබුණි.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS