ධුරයෙන් ඉවත් වෙන්නැයි බලපෑම්



ධුරයෙන් වහා ඉවත් වන්නැයි දකුණු අප්‍රිකා පාලක පක්ෂය වන අප්‍රිකා ජාතික කොංග්‍රස් පක්ෂය ජනපති ජේකොබ් සූමාට බල කරයි.

පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ සූමා අතර මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණැයි ද වාර්තා වේ. එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සූමාගෙන් ඉල්ලා සිටියේ වහා ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙසය.

75 හැවිරිදි ජේකොබ් සූමා, පක්ෂයේ ඉල්ලීමට කන් දී ධුරයෙන් ඉවත් නොවුණහොත් ඔහුට විශ්වාසභංගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවැසෙයි. සූමා ජනපති ධුරයට පත් වූයේ 2009 වසරේදීය. ඔහුට බලයෙන් ඉවත් වෙන්නැයි සිය පාලක පක්ෂය ඇතුළතින්ම පීඩනයක් එල්ල වී ඇත්තේ එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙනි.

අප්‍රිකා පාලක පක්ෂය වන අප්‍රිකා ජාතික කොංග්‍රස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ද සූමාය. කෙසේ නමුත් පසුගිය දෙසැම්බරයේ දූෂණ චෝදනා මුල්කොට ගනිමින් සූමාට සිය පක්ෂය ඇතුළෙන්ම විරෝධයක් එල්ල වන්න විය.

සූමාගේ පස් වසරක ධුර කාලය අවසන් වීමට නියමිතය. මේ ඔහුගේ දෙවැනි ජනපති ධුර කාලය වන අතර, දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාවට අනුව ඔහුට යළි ජනපති ධුරය වෙනුවෙන් තරග කිරීමට හැකියාවක් ලැබෙන්නේ ද නැත.

අප්‍රිකා ජාතික කොංග්‍රසය බල කර සිටින්නේ ධුර කාලය අවසන් වීමට පෙර, සූමා ධුරයෙන් ඉවත් විය යුතු බවය. කෙසේ නමුත් සූමා එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මෙය රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට හේතුවක් වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

සූමාට පක්ෂව සහ විපක්ෂය අප්‍රිකා පාලක පක්ෂය වන අප්‍රිකා ජාතික කොංග්‍රසය දෙකඩ විය. එම අවස්ථාවේදී, පක්ෂ නායකත්වයට පත් වීමට සිරිල් රැම්පෝසා සමත් විය. සූමාගේ දෙවැනියා, එසේත් නැතිනම් දකුණු අප්‍රිකාවේ උප ජනපති ධුරය හොබවන්නේ 65 හැවිරිදි රැම්පෝසාය. ඒ, 2014 වසරේ සිටය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS