දෙවැනි රුල්ල පාලනය කෙරේ



බීජීං අගනුවර තොග වෙළෙඳපොළක් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල, ඉතා සාර්ථකව මර්දනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් සමත් වුණැයි චීන රජය ඊයේ (7) පැවැසීය.

බීජීං අගනුවර සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ, මේ දක්වා කිසිදු නව ආසාදිතයකු අගනුවරින් වාර්තා වී නැති බවය. ඒ අනුව, අගනුවරට පැනැවූ තහංචි අදියරෙන් අදියර ලිහිල් කිරීමටත්, නිරෝධායන කඳවුරැවලට යැවූ පුද්ගලයන් දින 14 කට පසු යළි නිවෙස්වලට යැවීමටත් පියවර ගෙන තිබේ. අගනුවර දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට නියමිත බව ද චීන රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

බීජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් නව ආසාදිතයන් පොකුරක් වාර්තා වූයේ පසුගිය ජූනි 12 වැනිදාය. ඒ, මාස දෙකක විරාමයකින් පසුවය. 16 වැනිදා වනවිට ආසාදිතයන් ගණන 100 ඉක්මවා තිබුණි. ඒ අනුව, බොහෝ දෙනා බිය පළ කළේ චීනයෙන් ‘කොරෝනා දෙවැනි රැල්ල’ ආරම්භ වුණු බවය.

එම අවස්ථාවේදී බීජීං සෞඛ්‍ය බලධාරීන් වහා ක්‍රියාත්මක වී තොග වෙළෙඳපොළ වසා දැමුණි. සින්ෆාඩි නමැති එම වෙළෙඳපොළට සම්බන්ධ සේවක සේවිකාවන් ද ඇතුළු 10,000 කට වැඩි පිරිසක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණි. එහිදී ද නව ආසාදිතයන් පොකුරු වශයෙන් සොසා ගැනීමට හැකිවිය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS