දිල්ලි බලධාරීන්ගේ නියෝගයට විරෝධයක්



ඉන්දියාවේ නවදිල්ලියේ මහාධිකරණ විනිසුරුවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා නවදිල්ලියේ සුඛෝපභෝගී හෝටලයක් ‘කොවිඩ්-19’ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට දිල්ලි බලධාරීන් නියෝග කිරීමත් සමඟ මේ වනවිට ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් ඉන්දියානුවන් දහස් ගණනකට රෝහල් ඇඳන්, දිවි බේරාගන්නා ඔක්සිජන් යනාදිය හිඟ වෙමින් තිබෙන මොහොතක මහාධිකරණ විනිසුරුවරුන් සහ දිල්ලි බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය දැඩි විවේචනයටත් ජනතාවගේ දැඩි විරෝධයටත් හේතු වී තිබේ.  

දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වීම නිසා නවදිල්ලියේ අශෝකා හෝටලයේ කාමර 100ක් මහාධිකරණ සහ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ අයට වෙන් කරන්නැයි ඉල්ලමින් දිල්ලි මහාධිකරණයෙන් ඉල්ලීමක් ලැබුණු බව ප්‍රාදේශීය ආණ්ඩුවක් සඳහන් කළේය.  

කෙසේ නමුත් මෙවැනි ඉල්ලීමක් නොකළ බව දිල්ලි මහාධිකරණය ප්‍රකාශ කරයි. එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූවා නම් එය අවලංගු කරන බවත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් යම් වෙනසක් කර ඇති බවත් දිල්ලි මහාධිකරණ සඳහන් කළේය.

නගරයේ තිබෙන ප්‍රධාන පෙළේ හෝටලයක් මේ සඳහා වෙන් කර ඇතැයි දිල්ලි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්විණි.  

“ආයතනයක් විදියට අපි මෙහෙම විශේෂ සැලකිල්ලක් සත්කාරයක් අපේක්ෂා කරනවා කියන දේ හිතාගන්න බැහැ. අපි මෙහෙම ඉල්ලීමක් කළේ නැහැ” යැයි දිල්ලි මහාධිකරණය සඳහන් කළේය.

දිල්ලි මහාධිකරණය එවැනි ඉල්ලීමක් නොකළ බව ප්‍රකාශ කළේ නීතිඥයන්ගෙන් සහ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වීමෙන් පසුවය.    

රොයිටර්


RECOMMEND POSTS