දිනුවොත් කරන දේ ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි



ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් තමන් යළි බලයට පත්වුවහොත්, සිදුවන්නේ කුමක්දැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප් පවසන ආකාරයට, ඔහු යළි ජනපති ධුරයට පත් වී පළමු මාසය ඇතුළත ඉරානය සමඟ එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතය. එසේ එකඟත්වයක් ඇති කර ගැනීමට නියමිතව ඇත්තේ ඉරානයේ ඉල්ලීමට අනුවය.

ඇමෙරිකාව සහ ඉරානය අතරේ අර්බුදයක් පවතී. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ජනපති ට්‍රම්ප් ඉරානයට සම්බාධක පනවා ඇති අතර, සාකච්ඡා කර එකඟතාවක් ඇති කර ගනිමු යැයි දිගින් දිගටම පවසා ඇත. ට්‍රම්ප් පවසන ආකාරයට, ඔහු යළි ජනපති ධුරයට පත් වුවහොත් ඉරානය සාකච්ඡා සඳාහා පැමිණෙනු ඇත.

යළි ජනපති ධුරයට පත්වුවහොත්, මැදපෙරදිග අර්බුදයට පැහැදිලි විසඳුමක් ලබා දීමට ද තමන් පියවර ගන්නා බව ට්‍රම්ප් පවසා ඇත. තමන් සෞදියේ සල්මාන් රජු සමඟ සාකච්ඡා කළ බවත්, සෞදියේ සහාය ද ඇතිව, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි විසඳුමක් ලබා දෙමින් පලස්තීනුවන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් ඔහුට සාධාරණයක් ඉටු කිරීමට ද අපේකෂා කරන බව ට්‍රම්ප් පවසා ඇත.

ජනපති ට්‍රම්ප් මැදිහත් වීමෙන් මේ වනවිට ඊශ්‍රායලයත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතරත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිර්මාණය වී තිබේ. ඒ ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර සාම ගිවිසුමකට එකඟත්වය පළ කිරීමෙන් පසුවය.

එම සාම ගිවිසුමට අත්සන් තැබීම ලබන සතියේ වොෂින්ටනයේ දී සිදුවන්නේ, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. ඊට ඊශ්‍රායල සහ එක්සත් අරාබි එමිරේස් නියෝජිතයන් සහභාගී වනු ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS