දකුණු ඕස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් තහංචි ඉවතට



දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි ඉවත් කෙරුණි.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමට ප්‍රාන්ත බලධාරීන් සහ සෞඛ්‍ය අංශ කටයුතු කළේ දින 6 ක කාලයක් සඳහාය. කෙසේ නමුත් තහංචි ඉවත් කෙරුණේ එම දින හය සම්පූර්ණ වීමට පෙරය.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමට බලධාරීන් තීරණය කළේ ආසාදිතයන් 36 දෙනකු වාර්තා වීමත් සමඟ පළමු පෙළ ආශ්‍රිතයන් සොයා කළ විමර්ශනවල අනුවය.

පළමු පෙළ ආසාදිතයකු ලෙස හඳුනා ගත් එක් තරුණයකු පීට්සා අවන්හල් කීපයක රැකියාව කළ මෙන්ම, නිවෙස්වලට ගොස් පීට්සා බෙදූ තැනැත්තෙකි.

මෙම තරුණයා ඔහු ආ ගිය තැන් සහ හමුවුණු පුද්ගලයන් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දී තිබුණු අතර, සත්‍ය තොරතුරු වසං කිරීමක් ද සිදු කළේය. වයිරස ව්‍යාප්තියක් දරුණු ලෙස සිදුවේවි යැයි සැක කරමින් දින හයකට ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමට ඒ අනුව පියවර ගැණුනි.

කෙසේ නමුත් පීට්සා සේවකයා ලබා දුන් තොරතුරු අසත්‍ය බවත්, ඔහු සැබෑ තොරතුරු වසං කළ බවත් පසුව අනාවරණය වුණු අතර, සත්‍ය තොරතුරු පාදක කර ගනිමින් යළි විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. එයින් තහවුරු වී ඇත්තේ, බිය විය යුතු ආකාරයට වයිරසය ව්‍යාප්තවීමට ඉඩක් නොමැති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS