දකුණු ඕස්ට්‍රේලියාවේ කොරෝනා



දකුණු ඕස්ට්‍රේලියාවෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ආරම්භ වී ඇති බවත්, මේ වනවිට ආසාදිතයන් 17 දෙනකු හමුවී ඇති බවත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු කියති.

ආසාදිතයන් හඳුනා ගැනීම කඩිනමින් සිදුවුණු අතර, ඇඩෙලේඞ් අගනුවර හෝටල් සේවකයකුගෙන් වයිරසය ඔහුගේ පවුලේ අයටත්, එම පවුලේ සමීපයන්ටත් ව්‍යාප්ත වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

දකුණු ඕස්ට්‍රේලියාවෙන් මෙසේ යළි වයිරස ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇත්තේ අප්‍රේල් මාසයේ පළමු රැල්ලෙන් පසුවය. දකුණු ඕස්ටේ්‍රලියාව යනු ඕස්ට්‍රේලියාවේ දකුණු දෙසින් පිහිටි විශාලතම ප්‍රාන්තයයි.

ඕස්ට්‍රේලියාවට අයත් ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ අතරින් සිවුවැනියට විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවය. මිලියන 1,677 ක දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර ලෙස සැලකෙන්නේ ඇඩෙලේඞ්ය.

දකුණු ඕස්ට්‍රේලියා ආණ්ඩුකාර ස්ටෙපන් මාෂල්, මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි සැක කෙරන සියලු දෙනා වයිරසය ආසාදනය වී ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු විය යුතු බවය.

වයිරස ආසාදිතයන් හමුවීම සැලකිල්ලට ගනිමින්, දකුණු ඕස්ටේ්‍රලියාවේ දේශසීමා වසා දැමීමට, පාසල් කාර්යාල වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. කාර්යාල කටයුතු නිවසේ සිට කරන්නැයි උපදෙස් ලැබී ඇති අතර, සංචරණ සීමා පැනැවීමට ද කටයුතු කර තිබේ.

පසුගිය කාලයේ වික්ටෝරියා ප්‍රාන්තය මුල්කොට ගනිමින් කොරෝනා ව්‍යාප්තියක් දරුණු ලෙස සිදුවිය. කෙසේ නමුත්, ප්‍රාන්තය ලොක්ඩවුන් කරමින්, සංචරණ තහංචි පනවමින්, වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් සහ සෞඛ්‍ය අංශ සමත් විය. ඒ අනුව, දින 16 කින් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැත.

මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 27,745 කි. මරණ වාර්තා වන්නේ 907 ක් ලෙසිනි. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 25,490 කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 1,348 කි. ඔවුන් සියලු දෙනාගේ තත්ත්වය යහපත් බව පැවැසෙයි.

ඇඩෙලේඞ් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS