දකුණු අප්‍රිකා ජනපතිට බලපෑම්



වහා ධුරයෙන් ඉවත් වන්නැයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට බලපෑම් එල්ල වෙයි. කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවත් තමන් ධුරයෙන් ඉවත් නොවන බව රැම්පෝසා අවධාරණය කර තිබේ.

ජනාධිපති රැම්පෝසාට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල වන්නේ 2020 වසරේ රැම්පෝසාට අයත් ගොවිපොල නිවසක සිදුවුණු සොරකමක් මුල් කර ගනිමිනි. 
එම සොරකමේ දී රැම්පෝසා සතු විශාල මුදල් ප්‍රමාණයක් සොරකම් කෙරුණි. එම මුදල් ප්‍රමාණය නිවැරදිව කොපමණදැයි අනාවරණය නොකෙරුණි. පොලිසිය පැවැසුවේ එය ඇමෙරිකන් ඩොලර් 5,80,000 ක් බවය.
පසුගිය ජූනි මාසයේ දකුණු අප්‍රිකාවේ හිටපු බුද්ධි ප්‍රධානී ආතර් ෆ්‍රේසර් පොලිසියට පැමිණිලි කරමින් කියා සිටියේ, එම සොරකම සිදු කළේ ජනාධිපති රැම්පෝසා බවත්, සොරාගත් බව පැවැසෙන මුදල් රැම්පෝසා අයතු ලෙස එක් රැස් කරගත් ඒවා බවත්ය. රැම්පෝසාගේ පාලාපාලා නමැති ගොවිපොල නිවසේ තිබී සොරකම් කළේ යැයි පැවැසෙන මුදල 5,80,000 ක් නොව ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක් බව ද හිටපු බුද්ධි ප්‍රධානී ආතර් ෆ්‍රේසර් පෙන්වා දී ඇත.
දකුණු අප්‍රිකා ජාතික කොංග්‍රසයේ නායකත්වය හොබවන්නේ ද රැම්පෝසාය. ජනාධිපති රැම්පෝසා දෙවැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් ද පසුවෙයි. පදනම් විරහිත චෝදනා කොතරම් එල්ල වුවත් තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉවත් නොවන බව රැම්පෝසා අවධාරණය කර තිබේ.
(රොයිටර්)

RECOMMEND POSTS