දකුණට යන්න සූදානම්



උතුරු කොරියා නායක කිම් ජොන් උන් ළඟදීම දකුණු කොරියාවේ සංචාරයකට පැමිණෙනු ඇතැයි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පැවැසීය.

දකුණු කොරියාවට පැමිණෙනැයි උතුරු කොරියා නායකයාට ඇරැයුම් කළේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ය. ඒ, ජනාධිපති මූන් ජේ ඉන් පසුගිය සැප්තැම්බරයේ උතුරු කොරියාවට ගිය අවස්ථාවේදීය. සාමයට කැපවී සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඉතා සුහඳශීලීව කළ එම ඇරැයුම පිළිගත්තේය.

මේ අතර, උතුරු සහ දකුණු කොරියාව ඔවුන්ගේ රටවලට ඉහළින් පනවා තිබූ ගුවන් තහනම අද (1) සිට ඉවත් කිරීමට තීරණය කළේය. ඒ දෙරට අතර හොඳහිත තහවුරු වෙද්දීය.

ගුවන් තහනම පමණක් නොව, මින් ඉදිරියට යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ හමුදා පෙරහුරු පවත්වන්නේ නැතැයි දකුණු කොරියාව සහ උතුරු කොරියාව එකිනෙකාට පොරොන්දු වී ඇත.

උතුරු සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි. කෙසේ නමුත් මේ වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද මානසිකත්වයක් පවතින්නේ නැත. දෙපාර්ශ්වයම සාමයට කැප වී සිටී. තම මිසයිල වැඩසටහන සහ න්‍යෂ්ටික වැඩසටහන නවතා දැමීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් එකඟත්වය පළ කර ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS