තායි කුමරියට රජුගෙන් බාධා



තායිලන්තයේ මහා වජිරලොන්කොන් රජුගේ එල්ල වූ විරෝධය සැලකිල්ලට ගනිමින්, උබොල්රතන රාජකන්‍යා සිරිවද්ධන බරනවාදී කුමරිය ලබන මහ මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි ඇය අගමැති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළ ‘තායි රක්ෂ චාත්’ පක්ෂය පවසා තිබේ.

67 හැවිරිදි බරනවාදී කුමරිය යනු මහා වජිරලොන්කොන් රජුගේ වැඩිමල් සොහොයුරියයි. තායිලන්ත රජ පවුලේ සාමාජිකයන් කිසිදු අවස්ථාවක දේශපාලනයට පිවිස නැති බවත්, එම සම්ප්‍රදාය දිගටම පවතිනු ඇති බවත් පෙන්වා දෙමින් මහා වජිරලොන්කොන් රජු සිය වැඩිමල් සොයුරිය අගමැති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.

‘තායි රක්ෂ චාත්’ පක්ෂය තම සොහොයුරිය අගමැති ධුර අපේක්ෂිකාවක ලෙස නම් කිරීමත් ඇගේ නම ලියාපදිංචි කිරීමටත් පියවර ගැනීම සම්බන්ධයෙන්, මහා වජිරලොන්කොන් රජු විරෝධය දක්වමින් විශේෂ ප්‍රකාශයක් කර ඇත. කුමරිය මැතිවරණයට ඉදිරිපත් වීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද රජු එම ප්‍රකාශය හරහා පෙන්වා දී තිබේ.

ඒ අනුව, රජුගේ එම ප්‍රකාශය සැලකිල්ලට ගනිමින්, එය අණ කිරීමක් සේ සලකා අගමැති ධුර අපේක්ෂිකාව ලෙස කුමරියගේ නම ඉවත් කර ගන්නා බවත්, අගමැති ධුරය වෙනුවෙන් වෙනත් සුදුස්සකු නම් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත් ‘තායි රක්ෂ චාත්’ පක්ෂය නිවේදනය කර තිබේ. මහා වජිරලොන්කොන් රජුගෙන් එල්ල වූ විරෝධයෙන් පසු කුමරිය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති බව ද පැවැසෙයි.
තායිලන්තයේ හිටපු අගමැතිවරුන් වන තක්ෂින් ෂිනවාත්‍රා සහ නැගණිය යිංග්ලක් ෂිනවාත්‍රා නියෝජනය කළේ මෙම ‘තායි රක්ෂ චාත්’ පක්ෂයයි. තක්ෂින්ට මෙන්ම යිංග්ලක් ෂිනවාත්‍රාවට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇත. ඔවුහු දෙදෙනාම මේ වනවිට විදේශගතව ජීවත් වෙති.

‘තායි රක්ෂ චාත්’ පක්ෂය අගමැති ධුර අපේක්ෂිකාව ලෙස බරනවාදී කුමරිය නම් කළ අවස්ථාවේදී ඇය සමාජ ජාල ඔස්සේ පවසා තිබුණේ, එය සතුටට කරුණක් බවත්, තායිලන්තයේ අනාගතය වෙනුවෙන් යමක් කිරීමට තමන්ට හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත්ය. තායිලන්ත රජ පවුල දේශපාලනයට ඇඟිලි නොගසන බැවින් කුමරිය මෙසේ දේශපාලනයට අවතීර්ණ වීම, තායිලන්තයේ සිදුවුණු පෙරැළියක් ලෙස එරට දේශපාලන විශ්ලේෂකයෝ එම අවස්ථාවේදී පෙන්වා දී තිබුණාහ.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS