ත්‍රස්තයා සමඟ පොර බැදූ පාකිස්තානුවාට සම්මානයක්



ඕස්ටේ‍්‍රලියා ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට්, ක්‍රයිස්ට්චර්ච් නුවර අල් නූර් මුස්ලිම් පල්ලියට ඇතුළු වී වෙඩි තබද්දී, ඔහු මෙල්ල කිරීමට උත්සාහ ගනිමින් වීරයකු වූ 49 හැවිරිදි නයීම් රෂීද් පාකිස්තාන ජාතිකයාට පාකිස්තාන ජාතික සම්මානය හිමිවනු ඇතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි.

බ්‍රෙන්ටන් ටැරන්ට් මෙල්ල කිරීමට පොර බදද්දී, වෙඩි පහරට ලක් වී බරපතල තුවාල ලැබූ නයීම් රෂීද් රෝහල් ගත කරද්දී ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ 21 හැවිරිදි පුත්‍රයා තල්හා සයීම් පල්ලිය තුළ සිට ඇති අතර, බ්‍රෙන්ටන් ටැරන්ට් කළ වෙඩි තැබීමෙන් ඔහු ද මියගියේය.

නයීම් රෂීද් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවරින් නවසීලන්තයට ගොස් පුරවැසිභාවය ලබා ගත් අයෙකි. ඔහු ගුරුවරයකු ලෙස රැකියාව කළ අතර, පුතා තල්හා සයීම් ඉන්ජිනේරු සිසුවෙකි. ත්‍රස්තවාදියා වෙත කඩා වැදී ඔහු සමඟ පොර බදද්දී, පල්ලියේ සිටි බොහෝ දෙනකුට බේරී පලා යෑමට හැකියාව ලැබුණු බව ද පැවැසෙයි.

නයීම් රෂීද් කළ වික්‍රමය වෙනුවෙන් ඔහුට පාකිස්තාන ජාතික සම්මානය පිරිනැමීමට තීරණය කළ බවත් පාකිස්තානුවකුට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය එය බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේය. බ්‍රෙන්ටන් ටැරන්ට් කළ වෙඩි තැබීමෙන් පාකිස්තානුවෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.  ඊට අමතරව, ඇෆ්ගනිස්තානය, සෞදි අරාබිය, ඊජිප්තුව,  ජෝර්දානය, බංග්ලාදේශය, තුර්කිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව ආදී රටවලින් පැමිණ නවසීලන්තයේ පුරවැසිභාවය හිමිවුණු මුස්ලිම් වැසියෝ ද මියගිය පිරිස අතර වෙති.

අල් නූර් පල්ලියේ කළ වෙඩි තැබීමෙන් පසු බ්‍රෙන්ටන් ටැරන්ට් ඉන්පසු කඩා වැදුණේ ඊට නුදුරින් පිහිටි ලින්ඩුඞ් මුස්ලිම් පල්ලියටය. ලින්ඩුන් පල්ලියට කඩා වැදී බ්‍රෙන්ටන් ටැරන්ට් වෙඩි තබන්න පටන් ගත් අවස්ථාවේදී, කුඩා ක්‍රෙඩිට් කාඞ් මැෂිමකින් ඔහුට පහර දී, අභියෝග කරමින්, ඔහු පල්ලියෙන් පිටතට ගෙන ගිය අබ්දුල් අසීස් නමැත්තා මේ වනවිට විරයකු බවට පත් වී ඇත.

තුවක්කුකරුට අභියෝගයක් වූ එම තැනැත්තා අසීස් 48 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. බ්‍රැන්ටන් ටැරැන්ට් පල්ලියට කඩා වදිද්දී, අසීස් එහි සිටියේ ඔහුගේ පුතුන් සිවු දෙනා ද සමගය. වහා ක්‍රියාත්මක වෙමින්, බ්‍රැන්ටන් ටැරැන්ට් ට ක්‍රෙඩිට් කාඞ් යන්ත්‍රයෙන් දමා ගසා තමා පසුපස පන්නන්න සලස්වමින්, අසීස් පල්ලියෙන් එළියට දිව ගිය බව පැවැසෙයි. අසීස් එසේ කිරීමෙන් පල්ලියේ සිටි බොහෝ දෙනකුගේ ජීවිත බේරුණු බව පැවැසෙයි. අසීස්ගේ ද ජීවිතයට අනතුරක් සිදුනොවිණි.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS