තව පැය කීපයයි



හෙට (12) උදෑසන 9 ට (ශ්‍රී ලංකාවේ වේලාවන් උදේ 6.30) සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත හමුව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකාව පවසා ඇත.

ඇමෙරිකාව වැඩි දුරටත් පවසා ඇත්තේ එය අපේක්ෂා කළාටත් වඩා ඉක්මනින් සාර්ථක වනු ඇතැයි සිතිය හැකි බවය.

ඇමෙරිකාවේ ධවල මන්දිරය තහවුරු කර ඇත්තේ, කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ඔවුන්ගේ සෙසු නියෝජිතයන්ගේ සහාය නොමැතිව, තනිවම එකිනෙකා හමුවනු ඇති බවය. භාෂා ගැටලු සඳහා පරිවර්තකයෙක් ඔවුන්ට එක් වීමට නියමිතය. කිම් ජොන් උන්, තරුණ වියේදී අධ්‍යාපනය හදාරා ඇත්තේ ස්විට්සර්ලන්තයේය.

මුහුණට මුහුණ පැවැත්වෙන හමුවේදී, ඇමෙරිකාව බලාපොරොත්තු වන්නේ එක් දෙයකි. ඒ, උතුරු කොරියාව ඔවුන්ගේ සියලු න්‍යෂ්ටික අවි කටයුතු නවතා දැමීමය. ඊට අමතරව, න්‍යෂ්ටික අවිහරණය කළ යුතු බව ද ඇමෙරිකාව පවසා ඇත.
කොරියා ආර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට තමන් සූදානම් බව උතුරු කොරියා නායකයා අවධාරණය කර ඇත.

කෙසේ නමුත් රටේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් දැනට තමන් සතු න්‍යෂ්ටික අවි මිසයිල ආදිය අත්හැරීමට උතුරු කොරියාව කැමැත්තක් දක්වන්නේ ද යන්න සැක සහිත බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

අද (11) දවස අවසන් වෙද්දී, කිම් ජොන් උන්, සිංගප්පූරුවේ ප්‍රකට තැන් කිහිපයක් නැරැඹීමට  ද අමතක නොකළේය. ඔහු එසේ සංචාරය කළේ ආරක්ෂක නිලධාරීන් පිරිවරා ගනිමිනි. සිංගප්පූරු වැසියන්ගෙන් කිම් ජොන් උන්ට ප්‍රීතිඝෝෂා හිමිවිය.
උතුරු කොරියා නායකයා මෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා ද සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේදී, ඔවුන් පිළිගනු ලැබුවේ සිංගප්පූරු විදේශ කටයුතු ඇමැති විවියන් බාලක්‍රිෂ්ණන් විසිනි.

උතුරු කොරියා නායකයා රාත්‍රියේ ඇවිදීමට ගිය අවස්ථාවේදී ඔහු ඊට එක්විය. එපමණක් නොව, ඔහු උතුරු කොරියා නායකයා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකළේය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අද (11) රාත්‍රියේ සිටින්නේ එකිනෙකට ළඟින් පිහිටි හෝටල් දෙකකය. ජනාධිපති ට්‍රම්ප් නැවැතී සිටින්නේ ෂැංග්‍රිලා හෝටලයේ වන අතර, කිම් ජොන් උන් නැවැතී සිටින්නේ ශාන්ත රේගිස් හෝටලයේය.
කිම් ජොන් උන් සහ ඔහුගේ නියෝජිත කණ්ඩායම වෙනුවෙන් සියලු බර පැන දරන්නේ තමන් බව සිංගප්පූරු රජය පවසා ඇත. ලෝක සාමය වෙනුවෙන් පැවැත්වෙන මෙම ඓතිහාසික සමුළුවේදී, එසේ බර පැන දැරීම තමන්ට ගෞරවයක් බව ද සිංගප්පූරුව වැඩි දුරටත් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ නියෝජිත කණ්ඩායම වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ඒ, සිංගප්පූරු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ පලතුරු කේක් ගෙඩියක් ද පිළියෙළ කර තිබුණි.

(බී.බී.සී.)


RECOMMEND POSTS