තලේබාන් කාර් බෝම්බයට 12 ක් බිලි



දකුණුදිග ඇෆ්ගනිස්තානයේ සබුල් පළාතේ කලෙට් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ 95 දෙනකු රෝහල් ගත කෙරුණු බව ඇෆ්ගන් පුවත් සේවා වාර්තා කළේය.

එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් වූ අතර, කාර් බෝම්බය පුපුරා ගියේ කලෙට් මහ රෝහල ඉදිරිපිටය. ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබුණි.

බෝම්බකරුගේ ඉලක්කය වූ බව පැවැසෙන්නේ කලෙට් බුද්ධි අංශ ගොඩනැගිල්ල යැයි පැවැසෙයි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඉකුත් 17 වැනිදා කාබුල් නුවර, ස්ථාන දෙකකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. එයින් එක් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහභාගී වූ මැතිවරණ රැළියකටය. ජනපතිවරයාට එයින් කිසිදු අනතුරක් සිදු නොවිණි.

ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිවරණයට ඇත්තේ තව දින කිහිපයක් පමණි. එය කඩාකප්පල් කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරනවා යැයි තලේබාන් ත්‍රස්ත සංවිධානය අනතුරු අඟවා ඇත. පසුගිය දින කිහිපය පුරාවට ඇෆ්ගනිස්තානය පුරා බෝම්බ පිපිරීම් සිදුවිය.

ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාම කතා බිඳ වැටුණේ ද මෙම බෝම්බ ප්‍රහාර හේතුවෙනි. ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන්නේ තලේබාන් සංවිධානයේ දේශපාලන අංශයයි. බෝම්බ පුපුරුවමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ එම දේශපාලන අංශයට විරෝධය පළ කරන කැරැලිකාර කණ්ඩායම් යැයි පැවැසෙයි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS