තනතුර එපා කියයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර සන්නිවේදන ප්‍රධානියා ලෙස කටයුතු කරන හෝප් හික්ස් එම තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා  වාර්තා කළේය.

29 හැවිරිදි හික්ස් සුරූපිනියකි. ඇය හිටපු මෝස්තර නිරූපිකාවකි. වසර ගණනාවක් ට්‍රම්ප්ගේ සමීපයකු ලෙස කටයුතු කරන ඇය ට්‍රම්ප්ගේ විශ්වාසවන්ත මිතුරියක පමණක් නොව උපදේශිකාවක යැයි ද පැවැසෙයි.

හික්ස් ඇගේ සගයන්ට පවසා ඇත්තේ, ධවල මන්දිරයට පැමිණි තමාට බලාපොරොත්තු අපේක්ෂා ඉටුකර ගැනීමට හැකිවුණු හෙයින් තමන් තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බවය.

කෙසේ නමුත් තනතුරෙන් ඉවත් වන බව පැවැසුවත්, ඉවත් වන්නේ කවදාදැයි හික්ස් ජනපති ට්‍රම්ප්ට දැනුම් දී නැති බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සේරා සැන්ඩර්ස් පවසා ඇත.

පසුගිය 27 වැනිදා, හික්ස් ට කොංග්‍රස් මණ්ඩල විමර්ශන කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට සිදුවිය. විමර්ශන කමිටුවේ ප්‍රශ්න කිරීම්වලට ද ඇය භාජන වූවාය.

ඇයට විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටීමට සිදුවූයේ, ඇය ඩොනල්ඞ් ට්‍රම්ප් වෙනුවෙන් බෙරු කීවා ද නැද්ද යන්න පැවැසීමටය. ට්‍රම්ප්ගේ අකටයුතුකම් වෙනුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිනාවන් බොරු කියන බවට චෝදනා එල්ල වී ඇත.

මැතිවරණ සමයේ දී ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවන් රුසියානු නියෝජිතයන් අතර සම්බන්ධකම් පැවැත්වූයේ චෝදනා එල්ල වී ඇති අතර විමර්ශන පැවැත්වෙන්නේ ඒ සම්බන්ධයෙනි.

හික්ස් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළේ ඉන්පසුවය. කෙසේ නමුත් තමා තම තනතුරෙන් ඉවත් වීමට තීරණය කළේ, එම පරීක්ෂණ කමිටුවේ සාක්ෂිදීම සම්බන්ධයෙන් නොවන බව හික්ස් තහවුරු කර ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී. හෝප් හික්ස් ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් නාළිකාවේ තනතුරක් බාර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.

හෝප් හික්ස් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියේ පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසුවය. ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ද මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළ තැනැත්තියකි.

හෝප් හික්ස් ට්‍රම්ප් යටතේ සේවයට පැමිණ ඇත්තේ 2014 වසරේදීය. දේශපාලනය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොතිබුණත්, ඇය ට්‍රම්ප්ට සහාය දක්වමින් ට්‍රම්ප්ගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූවාය.

ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට කෙළින් කතා කරන, තමා ගන්නා තීරණ හරිදැයි හෝ වැරැදිදැයි කෙළින්ම මූණට කියන තැනැත්තියක ලෙස තමන් හික්ස් හඳුන්වා දෙන බවය. තමන් ගත් දළදඬු තීරණ රැසක් හෝප් හික්ස්ගේ මැදිහත් වීමෙන් වළැක්වුණු බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත.

‘හෝප් පසුගිය තෙවසරක කාලය පුරාවට බොහොම හොඳින් කටයුතු කළා. රාජකාරි නොපිරිහෙලා ඉටු කළා. ඇය බුද්ධිමත්. බොහොම හොඳ කෙනෙක්. ඇය මගේ ළඟ නැති අඩුව තදින් දැනේවි. ඇය ඇත්ත වශයෙන්ම බොහොම අපූරු තැනැත්තියක්’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS