ඩෙංගු එන්නත ගැන බියක්



ප්‍රංශයේ ‘සැනොෆී’ ඖෂධ සමාගම නිර්මාණය කළ ඩෙංගු එන්නත සම්බන්ධයෙන් පිලිපීන රජය බියෙන් පසුවන බවත්, එම එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඔවුන් ඉල්ලීමක් කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

පිලිපීන රජය චෝදනා කර ඇත්තේ ‘ඩෙංගුවැක්සියා’ නමැති එම එන්නත ලබා දුන් ඇතැම් වැසියන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වුණු බවය.

පිලිපීන රජය මේ බව ‘සැනොෆී’ ඖෂධ පර්යේෂණ සමාගමට දැනුම් දී ඇති අතර, ඔවුන් ද පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බවය.

පිලිපීනය ඩෙංගු රෝගය ඉහවහා ගොස් ඇති ආසියානු රටකි. ඩෙංගු රෝගය පිටුදැකීමට පියවරක් ලෙස දීපව්‍යාප්තව ‘ඩෙංගුවැක්සියා’ එන්නත ලබා දීමට රජය පසුගිය කාලයේ පියවර ගත්තේය. එන්නත ගැන සැකයක් මතුවීමෙන් පසු එන්නත් ලබා දීමේ වැඩසටහන වහා නවතා දැමීමට පිලිපීන රජය කටයුතු කර ඇති බව දැනගන්න ලැබෙයි.

ඩෙංගු රෝගයට සාර්ථක පිළියමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිවී ඇති පළමු එන්නත වන්නේ ද මෙම ‘ඩෙංගු වැක්සියා’ එන්නතය. මෙම එන්නත අලෙවියෙන් වාර්ෂිකව ‘සැනොෆී’ ඖෂධ සමාගම ඇමෙරිකන් ඩොලර් බිලියනයක ආදායමක් ලබන බව ද පැවැසෙයි.

පසුගිය 2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමෙන් පසු, පිලිපීනය ද ඇතුළු රටවල් නවයක් එම එන්නත මිලදී ගැනීමට කටයුතු කළේය. පිලිපීනය ඔවුන්ගේ එන්නත් වැඩසටහන යටතේ පාසල් දරුදැරියන් 7,30,0000 කට ඩෙංගු එන්නත ලබා දුන්නේය.

එහිදී එන්නතේ සාර්ථකත්වය සහ ආරක්ෂාව ගැන පැහැදිලි කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොව ‘සැනොෆී’ ඖෂධ සමාගම ද දන්වා තිබුණේ එන්නත ලබා දීම කළ යුත්තේ ඩොංගු වැළැඳී නැති අයට පමණක් කියාය.

ඩෙංගු රෝගියකුට එන්නත ලබා දීමෙන් ඩෙංගු මර්දනය නොවන බවත් එසේ කරන්නේ නම් එය ඉතා අවදානම් බවත් එම අවස්ථාවේදී ‘සැනොෆී’ වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දුන්හ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS