ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් එකඟතාවක්



ඇමෙරිකා රජය අකර්මණ්‍යවීම වළක්වමින්, ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතර එකඟතාවක් ඇතිකර ගැණින.

එම එකඟතාවට අනුව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් යෝජනා කරනු ලැබූ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා ප්‍රාකාරය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 1.375 ක මුදලක් සම්මත වූ බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමා ප්‍රාකාරයක් හෝ යකඩ වැටක් හෝ ඉදිකිරීම ජනාධිපතිගේ 2016 වසරේ කළ ඡන්ද පොරොන්දුවකි.  මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් මැඬලීමට මෙම ප්‍රාකාරය ඉදි කළ යුතු බවත්, එමගින් ඇමෙරිකාවේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය ශක්තමත් වනු ඇති බවත් ට්‍රම්ප්ගේ මෙන්ම බොහෝ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද විශ්වාසය වී තිබේ. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වෙයි.

පසුගිය දෙසැම්බරයේ අයවැය ලේඛනය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ප්‍රාකාරය ඉදිකිරීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක් වැය වන බව ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

ප්‍රාකාරය වෙනුවෙන් මුදල් අනුමත කිරීම ඩිමොක්‍රටික් බහුතර බලයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, අයවැය සම්මත කර ගැනීමට නොහැකිව ඇමෙරිකාව අකර්මණ්‍ය විය. රාජ්‍ය ආයතන සඳහා මුදල් වෙන් කිරීමක් සිදු නොවුණු අතර, රාජ්‍ය (ෆෙඩරල්) සේවකයන්ට වැටුප් ගෙවීම ද ගැටලුවක් විය.

කෙසේ නමුත් පසුගිය 25 වැනිදා ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික්වරුන් අතර එකඟතාවක් ඇති කර ගැණින. ඒ අනුව, මෙම 15 වැනිදා වනතුරු තාවකාලිකව අයවැය සම්මත කර ගැණින. එම අවස්ථාවේදී ද ට්‍රම්ප් තරයේ කියා සිටියේ තමාගේ ප්‍රාකාරය හෝ යකඩ වැට හෝ වෙනුවෙන් මුදල් වෙන් කිරීම කෙසේ හෝ කළ යුතු බවය.

ඒ අනුව සිකුරාදා (15 වැනිදා) ට පෙර, අයවැය සම්මත කර ගැනීමට අවශ්‍ය පරිදි ඩිමොක්‍රටික්වරුන් සහ ඩිමොක්‍රටික්වරුන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවලින් පසු ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් ඇති විය. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බලාපොරොත්තු වූ මුදල හිමි නොවුණත් හිමිවුණු ප්‍රතිපාදන භාවිත කරමින් තාප්පය වෙනුවට යකඩ වැටක් දේශසීමාවේ ඉදිකිරීමට කටයුතු සිදුවනු ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS