ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ගින්නක්



බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නක් අවට නිවාස සහ ගොඩනැගිලිවලට පැතිර යෑමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පිළිස්සුම් තුවාල ලැබීමෙන් සහ දුම් ආඝ්‍රාණය වීමෙන් 100 කට වැඩි පිරිසක් රෝහල් ගත කෙරුණහ. මියගිය පිරිස අතරේත්, රෝහල් ගත කළ පිරිස අතරේත් කුඩා දරුවෝ බොහෝ දෙනෙක් වෙති.

ගින්නට හේතුව එක් මහල් නිවාස සංකීර්ණයක වහා ගිනි ඇවිලෙන සුළු රසායනික ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තිබීම යැයි ගිනි නිවන භටයෝ පසුව අනාවරණය කළහ. ගින්න හටගත්තේ පෙරේදා රාත්‍රියේ 11.40 ට පමණය.

ගින්නට හසුවුණු බොහෝ දෙනා නින්දේ පසුවූහ. ගින්න හටගත් අවස්ථාවේ එක් මහල් නිවාසයක මංගල උත්සව සාදයක් ද පැවැත්විණි. එම සාදයට සහභාගී වූ බොහෝ දෙනකු ද ගින්නට හසුවී ඇති බව වාර්තා වේ. බංග්ලාදේශ ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගිනි අනතුර මෙය යැයි ද පැවැසෙයි.

ගින්න හටගත්තේ සහ පැතිර පැතිර ගියේ, ඩකා අගනුවර චාව්බසාර් පළාතේය. මෙම පළාත එකිනෙකට ළංව නිවාස සහ මහල් නිවාස පිහිටි පටු මාර්ගවලින් ද සමන්විත නගරයේ ඉපැරැණි කොටසකි.

ගින්න පැතිර යෑමට මෙය හේතුවක් වූ බවත්, ගින්න කඩිනමින් නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පටු මාර්ග බාධාවක් වූ බවත් බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කරයි.

ඩකා අගනුවරදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS