ටෲඩෝට යළිත් ජනවරමක්



කැනඩා මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂයට නායකත්වය දෙන අගමැති ජස්ටින් ටෲඩෝට යළිත් ජනවරමක් හිමිවිය.

ජන්ටින් ටෲඩෝ කැනඩා අගමැති ධුරයට පත්වූයේ 2015 දී බහුතර බලයකිනි. කෙසේ නමුත් ඊයේ (21) පැවැති මහ මැතිවරණයෙන් ටෲඩෝගේ ලිබරල් පක්ෂයට බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි විය. කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 338 කි. බහුතර බලය සඳහා ආසන 170 ක් දිනා ගැනීම කළ යුතුය.

කෙසේ නමුත් ලිබරල් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 157 කි. ඒ අනුව, අගමැති ටෲඩෝ, ඔහුට සහාය දැක්වීමට කැමැති කුඩා පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවනු ඇතැයි පැවැසෙයි. 47 හැවිරිදි ටෲඩෝ මෙවර මැතිවරණයෙන් පසුබෑමට ලක්වූයේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා මුල්කොට ගනිමිනි.

අගමැති ටෲඩෝ සහ ලිබරල් පක්ෂයට අභියෝගයක් වූයේ කොන්සවටිව් පක්ෂයෙනි. කොන්සවටිව් නායකයා ඇන්ඩෲ ෂියර්ය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ලිබරල් පක්ෂය සහ කොන්සවර්ටිව් පක්ෂය අතර කරටකර සටනක් පැවැතිණි. සහ කොන්සවර්ටිව් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 121 ක් පමණි.

ජෝ ක්ලාක්ගෙන් පසු, කැනඩා අගමැති ධුරයට පත්වුණු ළාබාලතම අගමැතිවරයා වන්නේ ටෲඩෝය. 2015 මහ මැතිවරණයෙන් ටෲඩෝ අති විශිෂ්ට ජයක් හිමි කරගත්තේ, පිරිසුදු දේශපාලනඥයකු ලෙසය.  ටෲඩෝ සහ ලිබරල් පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 184 කි. එය සියයට 39.47 ක ප්‍රතිශකයකි.

ඔටෝවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS