ටැන්සානියාවේ නිදහස් දින උත්සව නෑ



ටැන්සානියාවේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවලංගු කිරීමට එරට ජනපතිනී සමියා සුහුලු හසන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ටැන්සානියාවේ ජාතික නිදහස් දිනය යෙදී ඇත්තේ සෑම වසරකම දෙසැම්බර් 9 වැනිදාට ය.

සමියා සුහුලු ටැන්සානියාවේ ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාවය. ටැන්සානියාව අප්‍රිකානු රටකි.

ටැන්සානියාවේ 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් වැය කිරීමට නියමිතව තිබූ නමුත් උත්සවය අවලංගු කරමින් එම මුදල රට වටේ ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කිරීමට ජනාධිපතිනිය තීරණය කර ඇත.

ටැන්සානියාව නිදහස් සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නෙවන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2015 දී එවකට ජනාධිපතිව සිටි ජෝන් මගුෆුලි ද සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට පියවර ගත්තේය.

2020 දී යළිත් වරක්, මගුෆුලි නිදහස් සැමරුම අවලංගු කරමින්, වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට අයවැය භාවිතා කරන ලෙස උපදෙස් දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS