ට්‍රම්ප්ගේ තහනමට අවසර



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මුස්ලිම් රටවල් හයකට පැනැවූ සංචාරක තහනම් නියෝගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර හිමිවිය.

ඒ අනුව, එම මුස්ලිම් රටවල වැසියන්ට ඇමෙරිකාවට පැමිණීමට නොහැකි වෙයි. එම මුස්ලිම් රටවල් හය වන්නේ චැඞ් රාජ්‍යය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනයයි.

මෙම රටවලින් පැමිණෙන වැසියන්ට ඇමෙරිකාවට පැමිණීම තහනම් කෙරුණේ, එම වැසියන් ත්‍රස්තවාදීන් බවත්, ඔවුන්ගේ පැමිණීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි.

ට්‍රම්ප් මෙම තහනම් නියෝගය පිළිබඳ නිවේදනය කළ අවස්ථාවේදී සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් ඊට විරෝධය දැක්වීය. එම අවස්ථාවේදී ට්‍රම්ප්ට අධිකරණයෙන් ද විරෝධයක් එල්ල විය.

ඒ අනුව, සංශෝධන සහිතව තහනම් නියෝගය යළි ගෙන ඒමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේය. එය සැළකිල්ලට ගනිමින්, තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමිවිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS