ට්‍රම්ප්ගෙන් නව යෝජනාවක්



ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට සැලසුම් කළ දේශසීමා ප්‍රාකාරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය අවසන් කිරීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ දේශසීමා හරහා මෙක්සිකෝවේ සිට පැමිණි සංක්‍රමණිකයන් වෙනුවෙන් ‘සහනයක්’ ලබා දීමට තමන් සූදානම් බවත්, තමන් එම සහනය ලබා දෙන්නේ නම්, තමා යෝජනා කළ තාප්පය සඳහා මුදල් වෙන් කිරීමට ඩිමොක්‍රටික් බහුතරයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගතයුතු බවය.

ජනාධිපති ට්‍රම්ප්ගේ නව යෝජනාවට අනුව, අවසර සංක්‍රමණිකයන් කොටස් දෙකකට වර්ග කර, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ ස්වෛරීත්වයට තර්ජනයක් නොවන සංක්‍රමණිකයන්ට රැකවරණය දීම සිදුවනු ඇත.

ජනපති ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ, තම දේශසීමා ප්‍රාකාරය හෝ යකඩ වැට හෝ ඉදිකිරීමට අනුමැතිය දෙන්නේ නම්, යොවුන් සංක්‍රමණිකයන්ට මෙන්ම දැනට විශේෂ අවසරයක් මත ඇමෙරිකාවට පැමිණ රැකියා කරන ලක්ෂ තුනකට ආසන්න පිරිසකට, ඔවුන්ගේ එම අවසර ලබා දී ඇති කාලසීමාව කල් ඉකුත් වී ගිය ද තව දුරටත් ඇමෙරිකාවේ රැකවරණය ලැබ රැඳී සිටීමට තමන් අවසර ලබා දෙන බවය.

ඇමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කරමින් ප්‍රාකාරයක් හෝ යකඩ වැටක් හෝ ඉදිකිරීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරු විරෝධය දක්වති. පසුගිය දෙසැම්බරයේ, ට්‍රම්ප් අයවැය ලේඛනය සකස් කර අනුමැතිය සඳහා එය කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළේ ප්‍රාකාරය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 කට අනුමැතිය ඉල්ලමිනි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය. එහෙයින් ඔවුහු ඒකමතිකව, දේශසීමා ප්‍රාකාරයට විරෝධය දැක්වූහ. ඒ සමඟ අයවැය සම්මත කර ගැනීමට නොහැකිව අර්බුදයක් හටගත් අතර, ඇමෙරිකන් රජයේ කටයුතුවලින් සියයට 25 ක් මේ වනවිට දින 30 ක් තිස්සේ අකර්මණ්‍ය වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS