ට්‍රම්ප් මැතිවරණ කටයුතු අරඹයි



ලබන වසරේ එනම්, 2020 දී පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ ආන්දෝලනයට හේතු වුණු 2016 ජනාධිපතිවරණයෙනි.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය 2020 දී අවසන් වන අතර, දෙවැනි ධුර කාලය ද සම්පූර්ණ කිරීමට ට්‍රම්ප් අපේක්ෂා කරයි.

ජනපති ට්‍රම්ප් සිය මැතිවරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කළේ ෆ්ලොරීඩා ජනපදයෙනි. එම අවස්ථාවට ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් ද සහභාගී වූවාය.

ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස්, තනතුරින් සමු ගැනීමට සැරැසෙන මාධ්‍ය ලේකම්වරිය සේරා සැන්ඩර්ස් ද රැළිය ඇමැතීමට පැමිණ සිටියහ.

තමන් ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කළ බවත්, එම තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමට තමන් අපේක්ෂා කරන බවත් ට්‍රම්ප් මැතිවරණ රැළියට එක් වී සිටි දහස් ගණනක් රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතමින් කියා සිටියේය.

ට්‍රම්ප් මිනිත්තු 80 ක් පුරා සිය දේශනය පැවැත්වූ බව ඇමෙරිකන් පුවත් සේව වාර්තා කරයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS