ට්‍රම්ප්-පුටින් හමුව අද



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව අද (16) ෆින්ලන්තයේ හෙල්සින්ක් නුවරදී පැවැත්වීමට නියමිතය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, මහා බි්‍රතාන්‍ය සංචාරය අවසන් කිරීමෙන් පසු ෆින්ලන්තයට පැමිණීමට නියමිතව සිටියේය. ට්‍රම්ප් ජනපති ධුරයට පත් වූයේ පසුගිය වසරේදීය. ජාත්‍යන්තර සමුළු කිහිපයකට ඔහු පසුගිය වසරේ සහභාගී විය.

එම ජාත්‍යන්තර සමුළු අතරතුරේ, ඒවාට සමගාමීව ඇමෙරිකන් ජනාධිපතිවරයා රුසියන් ජනාධිපති පුටින් හමුවුණු නමුත්, නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික හමුවක් පැවැත්වීමට අවස්ථාවක් උදා වූයේ නැත. එහෙයින් අද (16) පැවැත්වීමට නියමිත ට්‍රම්ප් සහ පුටින් හමුව ලෝක දේශපාලනයේ සන්ධිස්ථානයක් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පුටින් සහ ඇමෙරිකාව අතර ඇයිහොඳයිකම් පළුඳු වූයේ ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටිද්දීය. ඒ, යුක්රේන සහ සිරියානු අර්බුදයට රුසියාව මැදිහත් වූ නිසාය. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පුටින් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට උත්සාහ ගත්තේය.

2016 වසරේ දී ට්‍රම්ප් ජනපති ධුරයට පත් වුණු ජනාධිපතිවරණයට රුසියානු පරිගණක හැකර්වැරුන් මැදිහත් වූ බවටත් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ එම මැදිහත්වීමෙන් බවටත් චෝදනා එල්ල විය. ඇමෙරිකා ආරක්ෂක අංශ එම චෝදනා ඔප්පු කිරීමට ද සමත් වී සිටී. ඒ අනුව, පුටින් සමඟ මිතුදම් ඇතිකර ගැනීමට ජනාධිපති ට්‍රම්ප්ට නොහැකි විය. පුටින් තරයේ පවසා ඇත්තේ තමන් හෝ රුසියාව හෝ ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට මැදිහත් නොවුණු බවය. ට්‍රම්ප් සහ පුටින් අතර පැවැත්වෙන හමුව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් බොහෝ දෙනකු විරෝධය පළ කර ඇති බව ද වාර්තා වේ.

‘රුසියාව සමඟ අපට ප්‍රශ්න තියෙනවා. ඒත් රුසියාව සමඟ තවත් නිරවි යුද්ධයකට යන්න ඇමෙරිකාවට ඕනෑකමක් නැහැ. කතාබහ කරලා පවතින අර්බුද විසඳා ගන්න ට්‍රම්ප් සූදානම් වෙනවා’ යැයි ධවල මන්දිරය මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මේ අතර, රුසියන් ජනාධිපති පුටින් මුහුණට මුහුණ හමුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ පැසැසුමට හේතුවක් වී ඇති බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS