ට්‍රම්ප් ජී7 සමුළුවට



බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නේටෝ සමුළුවට සහභාගී වීමෙන් පසු, ඇමෙරිකනා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉතාලියේ සිසිලි දූපතේ ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය.

ඇමෙරිකා ජනපති ලෙස ට්‍රම්ප් ‘ජී7’ සමුළුවකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. ට්‍රම්ප් බිරිඳ මෙලානියා ද, සිසිලිය බලා පැමිණියාය. ‘ජී7’ යනු ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමි රටවල් හතේ රාජ්‍ය නායක හමුවය.

යුක්රේන අර්බුදයේ දී, රුසියාව යුක්රේනයට අයත් ක්‍රිමියා පළාත බලෙන් අත්පත් කර ගැනීමෙන් පසු, ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් එක් වී ‘ජී7’ කණ්ඩායමෙන් රුසියාව ඉවත් කර දැම්මේය. ඒ වනවිට ඇමෙරිකා ජනපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. මෙම සමුළුවට ද රුසියන් ජනපති සහභාගී නොවීය.

ආර්ථික, වෙළෙඳ ගනුදෙනු සහ ගෝලීය උණුසුම ආදී මාතෘකාවලට වඩා මෙවර ජී 7 රාජ්‍ය නායකයන්ගේ වැඩි අවදානයක් යොමු වූයේ ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීම සම්බන්ධයෙනි. පසුගිය දා මැන්චෙස්ටර් රඟහලට එල්ල වුණු ඊට හේතුවක් විය. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සහ ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් අතරේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

‘ජී7’ කණ්ඩායමේ රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන් අතරින් වඩාත් කැපී පෙනුනු තැනැත්තිය වූයේ මෙලානියා ට්‍රම්ප්ය. ඇයගේ විලාසිතා බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. ට්‍රම්ප් සමඟ විවාහ වීමට පෙර මෙලානියා නිරූපිකාවක ලෙස කටයුතු කර ඇත.

සමුළුවට ප්‍රංශ ජනාධිපති මැක්රොන්, බිරිඳ බ්‍රිජෙට් ද සහභාගී වූහ. ඊට අමතරව, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, ජපන් අගමැති ෂෙන්සෝ අබේ, ජර්මන් චාන්සල්වරිය ද එක් වූවාය. ට්‍රම්ප් පමණක් නොව, මෙම ජී 7 සමුළුව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේගේ පළමු ජී7 සමුළුවය. යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද සමුළුවට සහභාගී වූහ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS