ට්‍රම්ප් අලුත් ආරක්ෂක උපදේශකයෙකු සොයයි !



මයිකල් ෆ්ලින් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඇමරිකානු ජාතික ආරක්‍ෂාව පිළිබඳ උපදේශක පදවියට සලකා බැලීම සඳහා අපේක්ෂකයන් හතරදෙනකු සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වෙයි.

අපේක්ෂකයන් ලෙස දැනට සලකා බැලෙන පිරිස අතර මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා තානාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති ජෝන් බෝල්ටන් සහ දැනට වැඩබලන ආරක්ෂක උපදේශක කීත් කෙලොග් යන දෙදෙනාද ඇතුළුවී සිටිති.
තවත් හමුදා ජෙනරාල්වරු දෙදෙනකුද ඒ අතර සිටින බව වාර්තා වේ.

සෙනසුරාදා ෆ්ලොරිඩාහිදී පැවති රැළියක් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහු මෙතෙක් පදවියේ කටයුතු කළ ආකාරය සාධාරණීකරණය කරමින් අදහස් දැක්වීය.

නැවත වරක් ජනමාධ්‍යවලට දැඩි විවේචනයක් එල්ල කළ ජනාධිපතිවරයා 'අසත්‍ය ප්‍රවෘත්ති ලෙසින් ඔහු විග්‍රහ කළ දෙයින් බැහැරව ඇමරිකානු ජනතාව ඇමතීමට තමාට අවශ්‍ය බව පැවසීය.

හිටපු ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් පසුගිය සතියේ තනතුරින්ඉල්ලා අස්වූයේ රුසියානු තානාපතිවරයා සමග ඔහු පැවැත්වූ සාකච්ඡාවක් පිළිබඳව ධවල මන්දිරයට අසත්‍ය තොරතුරු වාර්තා කිරීම හේතුවෙනි.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි..

 


RECOMMEND POSTS