ට්‍රම්ප් - ජින්පින් හමුවෙයි



ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුව අතරතුරේ, චීන ජනාධිපති හමුවෙමින්, ඇමෙරිකාවත් චීනයත් අතර හටගත් ‘වෙළෙඳ යුද්ධය’ අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාකච්ඡා පැවැත්වීය.

‘ජී20’ සමුළුවට සමගාමීව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ හමුවක් පැවැත්වෙනු ඇති බවත්, දෙරට අතර නිර්මාණය වූ ‘වෙළෙඳ යුද්ධය’ සමථයකට පත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් ලොව කාගේත් බලාපොරොත්තුව විය.

ඊට හේතුව, චීනයත් ඇමෙරිකාවත් අතර නිර්මාණය වූ මෙම ‘වෙළෙඳ යුද්ධය’ මුළු ලොවටම බලපෑමක් කරන්න වූ නිසා යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකාවක් චීනයත් අතර ‘වෙළෙඳ යුද්ධයක්‘ හටගත්තේ, චීනය ගෝලීය වෙළෙඳපොළේ පමණක් නොව, ඇමෙරිකාවේ ද  ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කිරීමත් සමඟය.

2016 ජනාධිපතිවරණයේදී පවා ට්‍රම්ප් ඇමෙරිකානුවන්ට පොරොන්දු වී තිබුණේ, චීනය විසින් උදුරා ගත් ඇමෙරිකානුවන්ගේ රැකියා යළි ඇති කරන බවටය.

ඒ අනුව, චීනයට නව තීරු බදු පැනැවීමට ජනපති ට්‍රම්ප් කටයුතු කළේය. චීන ජනපති ෂී ජින්පින් ද ඊට නොදෙවැනි අයුරින්, ඇමෙරිකාවට තීරු බදු පැනැවීමක් සිදු කළේය. වෙළෙඳ යුද්ධය නිර්මාණය වූයේ ඒ අනුවය.

ජපානයේ ඔසාකා නුවර ‘ජී20’ හෙවත් 20 දෙනාගේ කණ්ඩායමේ හමුවට සහභාගී වීමට යන අවස්ථාවේදී පවා ජනපති ට්‍රම්ප් කියා සිටියේ තමන් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් අමතර ඇමෙරිකන් ඩොලර් බිලියන 300 ක තීරු බදු පැනැවීමට කටයුතු කරන බවය.

කෙසේ නමුත් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු පොදු එකඟතාවක් වෙනුවෙන් ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණි.
තව දුරටත් එකිනෙකාට තීරු බදු පැනවීමක් සිදු නොකිරීමට ට්‍රම්ප් සහ ජින්පින් තීරණය කළේය.

මතභේදයට ලක් වී ඇති චීනයේ ‘හුවාවි’ සමාගම සමඟ දිගටම ගනුදෙනු කිරීමට ඇමෙරිකන් සමාගම්වලට අවසර ලබා දෙන බවට ද ජනපති ට්‍රම්ප් චීන ජනපති ජින්පින්ට පොරොන්දුවක් දුන්නේය. එය හුවාවි සමාගමට ලැබුණු විශාල සහනයක් යැයි එම සමාගම පසුව පැවසීය.

ඔසාකාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS