ජේකොබ් සූමා ජනපති ධුරයට සමුදෙයි



එල්ල වන බලපෑම් හේතුවෙන් දකුණු අප්‍රිකා ජනාධිපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

තමා ධුරයෙන් ඉවත් වන බව සූමා නිවේදනය කළේ දකුණු අප්‍රිකා පුවත් නාළිකා ඔස්සේ ජාතිය අමතමිනි.

ජනපති ධුරයෙන් වහා ඉවත් වන්නැයි සූමාට බලපෑම් එල්ල වූයේ පාලක පක්ෂය වන අප්‍රිකා කොංග්‍රසයෙනි. සූමාට එල්ලවී ඇති දූෂණ වංචා චෝදනා හේතුවෙනි.

පාලක පක්ෂයේ බලපෑම මත තමන් ධුරයෙන් සමුගන්නා නමුත් එල්ල වන චෝදනා කිසිවක් තමන් පිළිනොගන්නා බව සූමා අවධාරණය කළේය.

75 හැවිරිදි වියෙහි පසුවන සූමා දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට පත් වූයේ 2009 වසරේදී විශිෂ්ඨ ජනවරමකිනි. දකුණු අප්‍රිකා ජනපතිවරයකුගේ ධුර කාලය වසර පහකි.

සූමා මෙසේ ඉල්ලා අස්වූයේ දෙවැනි ධුර කාලයේ අවසානයට ළඟා වී සිටිද්දීය. සූමාගේ දෙවැනි ධුර කාලය ලබන වසරේ අවසන් වීමට නියමිතව තිබුණි. රටේ ව්‍යවස්ථාවට අනුව, සූමාට යළි ජනපති ධුරය වෙනුවෙන් තරග කිරීමේ හැකියාවක් ද නැත.

පසුගිය 12 වැනිදා, පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ජනාධිපති සූමා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සූමාට බල කළේ පැය 48 ක් ඇතුළත ධුරයෙන් ඉවත් වන ලෙසය. එසේ නොකළොත්, සූමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරනවා යැයි ද අප්‍රිකා ජාතික කොංග්‍රසය අවධාරණය කර තිබුණි.

2009 වසරේ සිට අප්‍රිකා ජාතික කොංග්‍රස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ද සූමාය. කෙසේ නමුත් පසුගිය දෙසැම්බරයේ දූෂණ චෝදනා මුල්කොට ගනිමින් සූමාට සිය පක්ෂය ඇතුළෙන් විරෝධය එල්ල වීම ආරම්භ විය. එහි ප්‍රතිඵලය වූයේ සූමාට පක්ෂව සහ විපක්ෂය අප්‍රිකා පාලක පක්ෂය වන අප්‍රිකා ජාතික කොංග්‍රසය දෙකඩ වීමය.

එම අවස්ථාවේදී, පක්ෂ නායකත්වයට පත් වීමට සිරිල් රැම්පෝසා සමත් විය. සූමාගේ දෙවැනියා, එසේත් නැතිනම් දකුණු අප්‍රිකාවේ උප ජනපති ධුරය හිමවී තිබුණේ 65 හැවිරිදි රැම්පෝසාය. ඒ, 2014 වසරේ සිටය.

සූමා දකුණු අප්‍රිකා ජනපති ධුරයෙන් ඉවත් වීමත් සමඟ පාලක පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන රැම්පෝසා, දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට පත්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS