ජපානයේ හදිසි මැතිවරණයක්



උතුරු කොරියාව සම්බන්ධයෙන් ‘දළදඬු’ තීරණ ගැනීම සඳහා ජනතා සහාය අපේක්ෂාවෙන්, ජපාන අගමැති ෂෙන්සෝ අබේගේ තීරණයකට අනුව, එරට මහ මැතිවරණය ආරම්භ විය.

ජපාන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ, මෙම මැතිවරණයෙන් අගමැති අබේට පහසුවෙන් ජය ගැනීමට හැකි වනු ඇති බවය.

අගමැති ෂෙන්සෝ අබේ ප්‍රමුඛ ඔහුගේ ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ ට තුනෙන් දෙකක බලයක් හිමි කර ගැනීමට ද හැකිවනු ඇති බවත් අනාවැකි පළ වී ඇත. එසේ වුවහොත්, ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදු කිරීමට පවා අගමැති අබේට හැකිවනු ඇත.

උතුරු කොරියාව ජපානයට තර්ජනයක් වී ඇත්තේ ඔවුන්ගේ දිගු දුර මිසයිල අත්හදා බැලීම් නිසාය. පසුගිය කාලයේ උතුරු කොරියාව අත්හදා බැලූ දිගු දුර මිසයිල දෙකක් ජපානයට ඉහළින් ගොස්  ජපාන දූපත්වලට අයත් හොකයිඩෝ දූපත අසල මුහුදටය.

උතුරු කොරියාව හිතුමතේ සිදු කරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ජපානය සිය විරෝධය පළ කරද්දී, උතුරු කොරියාව තර්ජනය කළේ ජපාන දූපත් රාජ්‍යය මුහුදේ ගිල්වා දමන බවටය.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 25 වැනිදා, ජාතික අවශ්‍යතාවක් සේ සළකා මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව අගමැති අබේ නිවේදනය කළේය. ඊයේ දිනයේ මැතිවරණය පැවැත් වූයේ ඒ අනුවය.

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට නම් ජපාන හමුදාව ශක්තිමත් කළ යුතු බව අගමැති අබේගේ අදහස වී තිබේ. යළි බලයට පත් වුවහොත් තමා ජපාන හමුදාවට වැඩි බලතල දී, ජාතික හමුදාවක් බවට පත් කරන බව අගමැති අබේ පවසා තිබේ. එසේ වුවහොත්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපන් හමුදා මේ අයුරින් ශක්තිමත් වනු ඇත්තේ පළමු වරටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS