ජපන් පරිසර ඇමැති ‘පීතෘ’ නිවාඩු යන්න සූදානම්



බිරිඳගේ දරු ප්‍රසූතියෙන් පසු, බිරිඳට සහාය දක්වමින්, දරුවාගේ කටයුතු වෙනුවෙන් තමන් ද නිවාඩු ගන්නා බව ජපාන පරිසර අමාත්‍ය ෂින්ජිරෝ කොයිසූමී මාධ්‍ය හමුවක් පවත්වමින්  පැවැසුවේය.

ජපාන සමාජයේ පියවරු බොහෝ දෙනෙක්, දරුවන් ලොකු මහත් කිරීමට සහාය ලබා නොදෙති. ඔවුන් රැකියා කටයුතුවලට ප්‍රමුඛත්වය දීම ඊට හේතුවය.

රැකියා කරන පියවරු බොහෝ දෙනකු කාර්යබහුල ජීව රටාවලට යොමු වී ඇත.

මෙම තත්ත්වය වෙනස් කිරීමට පසුගිය දෙසැම්බරයේ ජපන් පාර්ලිමේන්තුවේ නව පනතක් සම්මත විය. පීතෘ නිවාඩු ලබා දීම ඒ අනුව සිදුවෙයි.

ජපන් කැබිනට් මණ්ඩලයේ, පිතෘ නිවාඩු ලබා ගන්නා පළමු ඇමැතිවරයා වන්නේ ෂින්ජිරෝ කොයිසූමීය. සෙසු පියවරුන්ට ආදර්ශයක් වෙමින්, තමන් මෙම තීරණය ගත් බව 38 හැවිරිදි ෂින්ජිරෝ කොයිසූමී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

ෂින්ජිරෝ කොයිසූමී මාධ්‍ය හමුවට එක් වූයේ බිරිඳ ක්‍රිස්ටල් ටක්ල්ගාවා ද සමඟය.

ෂින්ජිරෝ කොයිසූමී පමණක් නොව ඔහුගේ බිරිඳ ක්‍රිස්ටල් ටක්ල්ගාවා ද ජපානයේ ජනප්‍රියය. ක්‍රිස්ටල් ටක්ල්ගාවා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. මෙය ක්‍රිස්ටල් ටක්ල්ගාවාගේ පළමු දරු ප්‍රසූතියයි.

ෂින්ජිරෝ කොයිසූමී යනු ජපානයේ හිටපු අගමැතිවරයකු වන ජුනිචිරෝ කොයිසූමීගේ පුත්‍රයාය.

දරු ප්‍රසූතියෙන් පසු මාස තුනක කාලයක් ඇතුළත තමන් සති දෙකක් නිවාඩු ගන්නා බවත්, තමන් නිවාඩු ගන්නේ කැබිනට් රාජකාරිවලට බාධාවක් නොවන අයුරින් බවත් පරිසර ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS