ජනපති යමීන් විදෙස් සහාය පතයි



දිනෙන් දින ඔඩුදුවන දේශපාලන අර්බුදය හමුවේ, ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙද්දී, තමන්ට වඩාත් විශ්වාස මිතුරු රටවල සහාය ලබා ගැනීමට මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ නියෝජිතයන් තිදෙනකු චීනයටත්, පාකිස්තානයටත්, සෞදි අරාබියටත් යවා ඇත.

මාලදිවයින ජනාධිපතිවරයා ඔහුගේ ‘සැබෑ මිතුරන්’ ලෙස හඳුන්වා දී ඇත්තේ මෙම රටවල් පමණි. අසල්වැසි ඉන්දියාව ගැන හෝ ශ්‍රී ලංකාව ගැන හෝ ඔහු කිසිවක් පවසා නැති බව ඉන්දියාවේ ‘එන්.ඩී.ටීවී.’ පුවත් සේවය වාර්තා කළේය.

මාලදිවයින දූපත් රාජ්‍යයේ නිර්මාණය වී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් ‘සැබෑ තත්ත්වය’ එම නියෝජිතයන් චීන, පාකිස්තාන සහ සෞදි බලධාරීන්ට පහදා දෙනු ඇති බවත්, එම රටවල සහාය ලබා ගැනීමට ජනාධිපති යමීන් අපේක්ෂා කරන බවත් මාලදිවයින ජනපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර, මාලදිවයිනෙන් පිටුවහල් වී කොළඹ රැඳී සිටින හිටපු ජනාධිපති නෂීඞ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, මාලදිවයින අර්බුදයට ඉන්දියාව මැදිහත් වී විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නේ නම් තමා එය අගය කරන බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS