ජගත් මහ ලේකම් පාලූ නගරයට



එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ප‍්‍රබල භූමිකම්පාවකින් කැලැඹී සුනාමියකින් බැට කෑ, ඉන්දුනීසියාවේ පාලූ නගරයේ සංචාරය කරමින් සිදුවුණු විපත දැක බලා ගත්තේය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පාලූ නගරයේ සංචාරයට ගියේ ඉන්දුනීසියා උප ජනාධිපති ජුසුෆ් කල්ලා සමඟය.
සුනාමියෙන් වැනැසුණු නගරයේ සංචාරය කිරීමෙන් පසු නිවාස අහිමිව සහන කඳවුරුවල වෙසෙන පාලූ වැසියන් හමුවී, ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද මහ ලේකම්වරයා අමතක නොකළේය.

ඉන්දුනීසියා රජයේ නියෝජිතයන් සහ පාලූ නගර බලධාරීන් හමුවෙමින් මහ ලේකම් ගුටරේට්ස් කියා සිටියේ සුනාමියෙන් වැනැසුණු පාලූ නගරයේ යළි ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බවය.

මේ අතර ලෝක බැංකුව ද පවසා ඇත්තේ ආධාර වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන පහක මුදලක් ලබා දීමට පියවර ගන්නා බවය. පාලූ නගරය යළි යථා තත්ත්වයට පත් කිරීමට වසර දෙකක් ගත වනු ඇතැයි ඉන්දුනීසියා බලධාරීහු පෙන්වා දෙති.

පාලූ නගරයට සුනාමි රළ කඩා වැදුණේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදාය. ඒ, රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් පසුවය.

භූමි කම්පාවෙන් පමණක් නොව, ඉන්පසු පාලූ නගරයට කඩා වැදුණු සුනාමියෙන් ද සිදුවුණු ජීවිත හානිය 2,000 කට වැඩිය. තවත් සිය ගණනක් අතුරුදන් බව පැවැසෙයි. ලක්ෂ දෙකක පිරිසක් සහන කඳවුරුවල වාසය කරති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS